Monday, August 21, 2017

හිරු අල්ලපු හඳ ළමයා

හඳ අල්ලපු රටේ මිනිස්සුන්ට පහු ගිය දවස් ටිකේ වෙන වැඩක් තිබුනේ නෑ. ශත වර්ෂෙකට පස්සේ සිද්ධ වෙනවයි කියන පූර්ණ සූර්යග්‍රහණයක් බලන්න ලක ලෑස්ති උනා ඇරෙන්න.

ආරක්‍ෂිත ඇස් කණ්නාඩි එහෙම විකුණපු එවුන් හොඳ ගානක් හොයා ගත්තා. ඇමසන් එකේ,  සුපර් මාකට් වල, ගමේ කඩේ ඔය කොතනත් SOLD OUT !! වෙන කවදාවත් නැති තරමට පිට රටවල් වලින් මිනිස්සු ආවා ඇමරිකාවට මේක බලන්න. ඒ විතරක් නෙමෙයි, ඇමරිකාවේ ඉන්න අයත් මේක හොඳට බලාගන්න පූර්ණ ග්‍රහණයම පේන පැති වලට ගියා නිවාඩුත් දාගෙන.

ඉතින් ඔන්න අද තමයි මේ මහාර්ඝ සූර්යග්‍රහණය වෙච්චි දවස. අගෝස්තු 21.

මේකේ විශේෂත්වේ තමයි බටහිර වෙරළේ ඉඳන් නැගෙනහිර වෙරළ දක්වාම පටු බිම් තීරුවක් දිගේ පැය දෙකක් වගේ ඇතුළත මේ ග්‍රහණය දර්ශනය වෙන එක.

බලන්නකෝ පහත මැප් එක.



ඔන්න ඔය ඇඳලා තියන තීරුව දිගේ ඉන්න අයට තමයි පූර්ණ ග්‍රහණය දර්ශනය උනේ. අනිත් අයට පෙනුනේ අර්ධ සූර්යග්‍රහණයක්.

අපි හිටපු පැත්තටත් 95% ක් පෙනුනා. මුළු රටම ඕකට සූදානම් වෙද්දී අපිත් ඉතින් නිකන් ඉඳලා පුලුවනෑ. අපිත් ගෙන්න ගත්තා කණ්නාඩි. ටිකක් පහු වෙච්ච නිසා ඉතින් අස්ස ගනං දීලා තමයි ගන්න උනේ. අපායට ගියත් කලින් යන්න කියන එක ආයේ ආයේ පසක් උනි :( ඉතිං ඒ කොරලත් සයුරුට මදි. එයාට ඕන උනා මේකේ පින්තූර ගන්නත්. ඒකත් ලේසි නෑ. ඇස් දෙකටත් වැඩිය පරෙස්සම් කරන කැමරාවේ සෙන්සරේ පරෙස්සම් කරගන්නත් එපැයි. පස්සෙදී අර  අස්ස ගනං දීලා ගත්ත කණ්නාඩි වලින් එකක් කපලා film එක අරගෙන කැමරා කාචේට උඩින් ආවරණයක් විදියට හයි කරා.

ඉතින් ඔක්කොම හරි .

කවුරුත් දන්නව ඇතිනේ සූර්යග්‍රහණයක් වෙන්නෙ කොහොමද කියන එක? දන්නෙ නැත්තම් අහගන්. සූර්යයා සහ පෘතුවිය (ඒ කිව්වේ අපි හිටගෙන ඉන්න මේ ලෝකේ) අතරට හඳ හාමි ආවම තමයි ඔය වැඩේ වෙන්නේ. එතකොට හඳෙන් ඇති කරන හෙවනැල්ල අපේ පොළවට වැටෙනවා. අන්න ඒ හෙවනැල්ල ගමන් කරපු මාර්ගේ තමයි උඩ සිතියමේ තියෙන්නේ. හඳ ප්‍රමාණයෙන් පොඩි හින්දා තමයි ඒ හෙවනැල්ලට පොඩි තීරුවක් විතරක් වැහෙන්නේ.  ඒ නිසා පූර්ණ ග්‍රහණයක් පේන්නේ සීමිත ප්‍රදේශයකට විතරයි.

ඉතින් පල්ලෙහා තියෙන්නේ සයුරු ගතිපු පින්තූර ටිකක්.


ඔය තියෙන්නෙ හද සීන් එකට එන්ටර් වෙච්ච ගමන්ම ගත්ත එකක්. තැබිලි පාටට තියෙන්නෙ ඉර. හරියට ඉරෙන් කෑල්ලක් කඩා ගෙන කාලා වගේ.


මේ තවත් ටික වෙලාවකින්. නිකන් අටවක වගේ නේද? :)

මේ වෙලාව වෙද්දි සමර් එකේ ගිනි ගහන ඉර එලිය ටික ටික අඩු වෙලා අදුරු ගතියක් ඇවිත් සිසිලක් දැනෙන්න පටන් ගත්තා.


මේ තමයි අපිට පෙනුන උපරිමය. මෙතනින් පස්සේ තියෙන්නෙ කලින් ෆොටෝ වල mirror image වගේ එව්වා. පූර්ණ ග්‍රහණය පෙනුන පැති වලනම් රෑ වගේම කලුවර උනා ලු.

ඔන්න ඔහොමයි උනේ.

                                                      ~~~~~~~~~~~~~~~~~~~~~
දැන් ඉතින් කැමතිනම් ඉතුරු ටිකත් කියවන්නකො.

මේ සූර්යග්‍රහණ කියන්නේ හරි ලස්සන සන්සිද්ධියක් නේද? පොතේ හැටියටනම් මේක වෙන්නේ ඉරයි පෘතුවියයි අතරට හද ආවම නේ. ඒ කියන්නේ ඔය ලමයිට හිතෙන්නේ නැද්ද එහෙනම් හැම මාසෙ පෝය දවසකම මේක වෙන්න ඕන නේද කියලා? ඒත් එහෙම නම් වෙන්නේ නෑ හොදේ. මෙන්න මේකයි හේතුව.




දැන් ඔය උඩ තියන පින්තූරේ විස්තර කරන්නේ හදේ අටවක, පසලොස්වක, අමාවක වගේ කලා ඇති වෙන විදිහ නේ. හැබැයි ඔය ද්විමාන රූපේ පේන විදියට හද පරිභ්‍රමණය වෙන තලයයි පෘතුවිය පරිභ්‍රමණය වෙන තලයයි එකම තලයක් කියල හිතුවම තමයි අපිට වැඩ වරදින්නේ.

ඇත්ත කතාව ඔයිට වෙනස්.

හද පරිභ්‍රමණය වෙන්නෙ පෘතුවි පරිභ්‍රමණ තලයට ආනතියක් තියන වෙනමම තලයක. මේ බලන්න.




ඒ විතරක් නෙමේ. ඔය පථයත් තමන්ගෙ අක්ශය වටේ කැරකෙනවා. ඉතින් හරිම කලාතුරකින් තමයි හදේ හෙවනැල්ල හරි කෙලින් පෘතුවියට වැටෙන්නේ, ඔය දෙවනි අවස්ථාවේ ඇදලා තියනවා වගේ. තෙරුනේ නැත්නම් අහන්නකෝ.


එහෙනම් මම ගියා.

Tuesday, August 8, 2017

ඉඟුරු මිරිස් ගනුදෙණුව - රාජාවලිය XLIV

ඉතින් අපි අවසානෙට කතා කළේ විමලධර්මසූරිය රජතුමා මිය ගිය හැටිත් එතුමා ගේ බිරිඳ (දෝන කතිරිනා) සහ දරුවන් වගේම උඩරට රාජ්‍යයත් සෙනරත් රජතුමා (ක්‍රි. ව. 1604-1635) ට බාර උනු හැටිත් නේ.

මේ කාලේ වෙද්දී ජෙරනිමෝ ද අසවේදු ට උවමනා වෙලා තිබුනේ කොහොමහරි උඩරට යටත් කරගන්න. ඉතින් නිතරම ඔවුන් ඒකට උත්සාහ කරද්දී සෙනරත් රජතුමාට හිතුණා මොවුන් ගෙන් ගැළවෙන එකම ක්‍රමය ලන්දේසීන් තමයි කියලා. මේ හින්දා මඩකලපුවේ නවතා තිබුණු ලන්දේසි නැවකට පණිවිඩ යවලා දූතයින් කිහිප දෙනෙක් මහනුවරට ගෙන්වාගෙන ගිවිසුමකුත් ඇති කරගන්නවා.

ඔය අතරේ අසවේදු දිගින් දිගටම උඩරට ට පහර දෙන්න තැත් කරන නිසා සෙනරත් රජතුමා ලන්දේසීන් ගෙන් උදව් ඉල්ලනවා. ඔවුන් අතර ගිවිසුමක් තිබුණත් මේ වෙලාවේ උදව්වක් නම් ලැබෙන්නේ නැහැ. ඉතින් රජතුමා තීරණය කරනවා පෘතුගීසින් එක්ක මිතුරු වෙන්න. ඉතින් ක්‍රි. ව. 1617 දී මේ විදියට මිතුරු ගිවිසුමක් ඇති කර ගත්තත් ආයෙත් ක්‍රි. ව. 1620 ඉඳන් පෘතුගීසින් උඩරට ට පහර දෙන්න පටන් ගන්නවා.



මේත් එක්කම සෙනරත් රජතුමා ගේ පුද්ගලික ජීවිතේ ගැනත් හොයලා බැලුවොත් රජතුමාගේත් කුසුමාසන දේවියගේත් පුත්‍රයා තමයි මහාස්ථාන (පස්සේ කාලෙක දෙවන රාජසිංහ නමින් රජ වෙන්නේ). ඊට අමතරව විමලධර්මසූරිය රජතුමා ඔහුගේ දරුවනුත් අම්මත් එක්කම සෙනරත් රජුට බාර දුන්න නේ. ඒ දරුවන් තමයි රාජසූරිය, උඩුමලේ අස්ථාන, විජේපාල, කුමාරසිංහ යන කුමාරවරු. මෙයින් උඩුමලේ අස්ථාන කුමාරයා ලෙඩ වෙලා මිය ගියා කියලා කියනවා. රාජසූරිය කුමාරයා සෙනරත් රජතුමා විසින් දියේ ගිල්වලා මැරුවා කියලයි කියන්නේ. මේ ගැන කණගාටුවෙන් කෑම බීම පවා නොගෙන දුක් විඳපු කුසුමාසන දේවිය අවු 35 දී මිය පරලොව ගියාලු.

සෙනරත් රජතුමා ඉතිරි පුතුන් තුන් දෙනා අතරේ රාජධාණිය බෙදුවලු කුසපත් ඇදීමේ ක්‍රමයකට. ක්‍රමේ මොනවා උනත් වැදගත්ම කොටස වෙච්ච සෙන්කඩගල ලැබිලා තියෙන්නේ බාල කුමාරයා මහාස්ථාන ට. විජයපාල ට මාතලේත් කුමාරසිංහට ඌව ප්‍රදේශයත් ලැබුණා ලු. ඒත් මේ වැඩිමහල් කුමාරවරු දෙන්නා පසු කාලෙක මහාස්ථාන ට බයෙන් ගෝව ට පැනලා ගියා කියලා කියනවා. තමන්ගේ මරණින් පස්සේ ක්‍රියාත්මක වෙන විදිහට තමයි මේ බෙදා දීම කරලා තියෙන්නේ.

මේ කාලේ සිද්ධ වෙන තවත් වැදගත් සිද්ධියක් තමයි "අලගියවන්න මුකවෙටි" තුමා කතෝලික ආගම වැළඳ ගැනීම (දොන් ජෙරනිමෝ අලගියවන්න මුකවෙටි). ඔහු පෘතුගීසින් ට ඉඩම් ඔප්පු සකස් කරන්න උදව් උනාලු. මෙතුමා ඉපදුනේ ක්‍රි. ව. 1552 දී ලු. සිංහල සාහිත්‍යය පිරිහිලා තිබිච්ච යුගයක සුභාෂිතය, සැවුල් සංදේශය, කුසදා කව වගේ කෘති රචනා කරලා එහි උන්නතියට ලොකු සේවයක් කළා ලු.

ඉතින් සෙනරත් රජතුමා ට ලොකු හිසරදයක් වෙච්ච පෘතුගීසි ආක්‍රමණ වලදී ඔහු ට හරි හරියට උදව් දුන්නේ මහාස්ථාන එහෙමත් නැත්නම් රාජසිංහ කුමාරයා. මේ සටන් ගැන කියද්දී රන්දෙණිවෙල සටන ගැන නොකියාම බැහැ. මේ වෙද්දී හිටපු පෘතුගීසි ආණ්ඩු කාරයා තමයි "කොන්ස්තන්තීනු ද සා".  ක්‍රි. ව. 1630 දී සිද්ධ වෙච්ච මේ සටනෙන් පෘතුගීසින්ට අන්ත පරාජයක් අත්‍ වෙන්න වර්ෂාවත් බලපාලා තියනවා. ඒ වගේම පෘතුගීසින් යටතේ සේවය කරපු ලස්කිරිඤ්ඤ හමුදාවත් (පෘතුගීසින් යටතේ කුලියට වැඩ කරපු සිංහලුන්) උඩරට රජුට එකතු වෙලා තියනවා. මේ සටනින් කොන්ස්තන්තීනු ද සා මරණයට පත් උනාලු.

ඉතිං මේ විදියේ සටන් සහ අසාර්ථක සාම කතා අතරේ ක්‍රි. ව. 1635 දී සෙනරත් රජතුමා මිය යනවා. ඉන් පසුව සිහසුන හිමි වෙන්නේ ඔහුගේ පුත් මහාස්ථාන හෙවත් රාජසිංහ II රජතුමා (ක්‍රි. ව. 1635 - 1687) ට. 


ඉන් පස්සේ ක්‍රි. ව. 1638 දී තමයි පෘතුගීසින් ආපහු මහා සටනකට අර අඳින්නේ. ඒ තමා ප්‍රසිද්ධ ගන්නොරුව සටන. ඒ දියේගෝ දි මේලෝ නම් පෘතුගීසි ආණ්ඩුකාරයා යටතේ. මේ ආක්‍රමණය වෙලාවේ රාජසිංහ රජතුමා උපක්‍රමශීලී ව පසු බසිනවා ගලේ නුවර ට. මාළිගාව ගිනි තියන පෘතුගීසින් ගන්නොරුව දක්වා යනවා. මෙතැනදී සිංහල හමුදා ඔවුන්ව වට කරනවා. එතන ඇවිලෙන සටනින් අවසානයේ ඉතුරු උනේ පෘතුගීසින් 33 ක් විතර ලු. දි මේලෝ ගේ සිරුර වත් හොයාගන්න බැරි උනාලු. මේ සටනට රාජසිංහ රජුගේ සොයුරු විජයපාලත් සහය දීලා තියනවා.

පෘතුගීසින් සමග කරපු අන්තිම සටන වගේම භයානකම සටනත් ගන්නොරුව සටන කියලා හැඳින්වෙනවා. "පරංගි හටන" පොතේ ඒ ගැන ඡේද 449 ක් ඇතුළත් වෙනවා ලු.

මාර්තු මාසේ ඇති වෙච්ච මේ සටනින් පස්සේ තමයි 1638 මැයි මාසයේ දෙවෙනි රාජසිංහ රජතුමා ලන්දේසීන් සමග ගිවිසුම අත්සන් කරන්නේ. විලියම් ජේකොබ්ස් කොස්තා සහ ඇඩම් වෙස්ටර්වර්ල්ඩ් යන නිලධාරින් දෙදෙනා මේක අත්සන් කරන්නේ පෘතුගීසින් දිවයිනෙන් පළවා හරිනවාට හිලවු වශයෙන් වෙළඳාම තමන් අතට පවරා දීමේ පොරොන්දුව මත.

කිව්වා වගේම ලන්දේසීන් එකින් එක පෘතුගීසි මුර පොළවල් අල්ලා ගනිමින් ඔවුන් දිවයිනෙන් පන්නනවා විතරක් නෙමෙයි, පෘතුගීසින් ට ලංකාවේ තිබුණු තැන ඒ ආකාරයෙන්ම ඔවුන් වෙත පවරා ගන්නවා. ගිවිසුමේ තිබුණු විදිහට ඔවුන් ඒවා රජුට පවරා දෙන්නේ නැහැ. ඒ වගේම රජුත් පොරොන්දු වූ ගාස්තු ඔවුන්ට ගෙවන්නේ නැහැ. අන්තිමේදී පෘතුගීසි හිසරදයෙන් ගැලවුන රාජසිංහ රජතුමාට තවත් ඒ වගේම හිසරදයක් ඇති වෙනවා. මේ සිද්ධිය තමයි "ඉඟුරු දීලා මිරිස් ගත්තා වගේ" කියලා ඉතිහාසයේ ප්‍රසිද්ධ උනේ.

දෙවෙනි රාජසිංහ රජතුමා ගේ තවත් තොරතුරු එක්ක උඩරට රාජධානියේ ඉදිරි කාලය ගැන අපි ඊ ළඟ ලිපියෙන් කතා කරමු.

Thursday, June 15, 2017

ලංකාවේ සිංහල ටෙලි

කට්ටිය මොනා කිව්වත් ලංකාවේ ගොඩක් හොඳ සිංහල ටෙලි බිහි වෙලා තියනවා කියන එක තමයි මගේ අදහස. එදා මෙදා තුර අපි කොච්චර ටෙලි නාට්‍ය ගානක් බලලා ඇත්ද? හොඳ වගේම වැඩකට නැති එව්වත්.




මට මතක ඇති කාලෙක බලපු මුල්ම ටෙලිය තමා "දූ දරුවෝ". නාලන් මෙන්ඩිස් ගේ තවත් එක පවුලේ කතාවක්. ඇච්චා කාලේ බලපු හින්දා ඒකේ කතාව ගැන ලොකුවට මතකයක් නැතත් සුදු සීයා (හෙන්රි ජයසේන), ආච්චි (අයිරාංගනී සේරසිංහ), කලිසම් අඳින දීප්ති(නිල්මිණි තෙන්නකෝන්), ඩයස් (එච්. ඒ. පෙරේරා) එහෙම තවමත් මතක තියන චරිත. ඒ වගේම ඕකේ සමහර දෙබස් එහෙමත් මට මතකයි.

නන්දනී (චාන්දනී සෙනෙවිරත්න)- "මේක හරිම අසාධාරණයි. මම පවුලේ බාලයා. මම පිරිමියෙක් උනානම් මේ ගේ අයිති වෙන්නේ මට. මම ගෑණියෙක් උන නිසා ඒක තුනට බෙදුනා...මේක හරි අසාධාරණයක්නෙ"

පුන්සිරි (ජයලත් මනෝරත්න) - "දැන් ඉතින් ඔයා කොච්චර ගිරිය පුප්පගෙන කෑ ගැහුවත්, ඔයා පිරිමියෙක් වෙන්නේ නෑ නෙ නන්දනී..."





ඊ ලඟට "කන්දේ ගෙදර". මේකටනම් අදටත් මම ආසයි. හරිම ලස්සනට නිර්ව්‍යාජ ගැමි කම කැටි කර ගත්තු ටෙලියක්.  බාල මහත්තයා (රෝහණ බැද්දගේ), හාමිනේ (රම්‍යා වනිගසේකර) වගේම අල්මේදා (සිරිල් වික්‍රමගේ) ගේ රඟපෑම් හරිම ඉහළයි. මේ කතාව පුරාම ගම නගරය, පරම්පරා ගැටුම වගේ දේවල් සරලව වගේම ලස්සනට පෙන්නලා දෙනවා. ඒ වගේම පසුබිම් සංගීතයත් හරිම මිහිරියි. මෙතනින් කන්දේ ගෙදර බලන්න පුළුවන්, කැමති කෙනෙක්ට.



මේ වගේම මට මතක තියන තවත් කතාවක් තමා "හිරුට මුවාවෙන්". ගොඩක් අය ඒකට  කිව්වේ ඉඳි ආප්ප කතාව කියලා. මම හිතන්නේ කමල් අද්දරආරච්චි ගේ, චම්පා ශ්‍රියානි ගේ රඟපෑම් මුලින්ම දැක්කේ මේකෙන්. මේකේ තවත් අමතක නොවෙන චරිත දෙකක් තමා ලොකු අප්පච්චි (ජේ. එච්. ජයවර්ධන) සහ ලොකු අම්මා (රත්නා සුමනපාල). අර "ජෑ..ක්ස...න් ජෑ..ක්ස...න් ජෑ..ක්ස...න්" කියන්නේ. කට්ටියද මතක ඇති නේද "චකබ්ලාස්" එහෙම. ඒ ගේම් එකට කියන ඇත්ත නම සොලිටෙයාර් මම හිතන්නේ. ඒත් ලංකාවේ අපිනම් ඒකට කියන්නේ චකබ්ලාස් කියලම තමයි.



"පලිඟු මැණිකේ" ගැනත් කතා නොකරම බැහැ. මම දන්නා හැටියට මේක තමයි ජැක්සන් ඇන්තනිගේත් (විජේපාල ගේ චරිතය) ශ්‍රියන්ත මෙන්ඩිස්ගේත් (සූරසේන ගේ චරිතය) මුල්ම ටෙලි නාට්‍යය. නගරයේ සංකර සිරිත් ගමට ගේන්නේ මේ සූරසේන. වෙස් මූණු කතාව කියලත් මේක හඳුන්වනවා. මැණිකේ අත්තනායක එහෙමත් රඟපානවා මේකේ. ඕං මෙතන තියනවා පලිඟු මැණිකේ බලන්න ඕනෙනම්.



මෙන්න තවත් සුපිරි ටෙලියක්. ජයන්ත චන්ද්‍රසිරි ගේ "දඬුබස්නාමානය".  එතුමගේ මේ අමුතු විදිහේ ටෙලි නාට්‍ය වලට මම ගොඩක් කැමතියි. තව තියනවා ඉස්සරහට. ඔය දඬුබස්නාමානය කියන එකේ තේරුම, දුන්නකින් ඊ තලයක් විද්දහම ඒ ඊය වැටෙන්න පුළුවන් සීමාව කියන එක මම කොහේදි  හරි කියෙව්වා. මේක මුලින්ම බලද්දී නම් මට මෙලෝ මංගල්ලයක් තේරුණේ නෑ. ඒ කාලේ අපි මේකේ බැලුවේ අංගම්පොර ටික විතරද කොහෙද. හරිම ජවයක් තිබුණ කතාවක්. සේනක විජේසිංහ එහෙම ජනප්‍රිය උනා මේකෙන්. දමිතා අබේරත්න එහෙම කෙට්ටු කාලේ බලා ගන්න පුළුවන්. මේකේ ඉන්න තවත් මම කැමතිම නළුවෙක් තමයි "බුද්ධදාස විතානාච්චි".  හොඳ පෞරුෂයක් තියන දක්‍ෂ නළුවෙක්. කැමතිනම් බලන්න දඬුබස්නාමානය මෙතනින්.




හප්පේ මේකනම් මතක් වෙනකොටත් බය හිතෙනවා. "ගිරය". ඉස්සර මම හරි බයයි ලුසිය හාමිට (ට්‍රිලිශියා ගුණවර්ධන). වසන්ති චතුරානි මනමාලියක් වෙලා එන වලව්වේ වැඩ කරන කෙනෙක් තමයි ලුසිය හාමි. ඒත් එයාට වලව්වේ කුමාරිහාමි කෙනෙක්ගේ තරමට බලයක් තියනවා. ඒකත් මුලින් බලද්දී වැඩිය තේරුනේ නෑ. පස්සේ තව වතාවක් බැලුවා. 



පොඩි ළමයි හැටියට අමතක නොවෙන තවත් ටෙලියක් තමයි "අඹ යාළුවෝ". සුදු අප්පෝ, නපුරු මයිත්‍රී වගේම අත්තම්මත් (රූබි ද මැල්) තවම මතකයි. අනුලා රණවීර, බුද්ධි වික්‍රම එහෙමත් රඟපෑවා. ඒ වගේම තේමා ගීතය වෙච්චි "කටු අකුලේ මල් ඇහැරේ" ගීතයත් "පහන තියා බුදු සාදුට" ගීතයත් තවමත් අපේ හිත් වල තියන ගීත. අඹ යහළුවෝ බලන්න ඕනනම් මෙන්න.




මේ "එක ගෙයි කුරුල්ලෝ" රූප රාමුවක්. මානෙල් ජයසේන, විජේරත්න වරකාගොඩ එහෙම රඟ පෑවා. එක කූඩුවේ හැදෙන කුරුළු පැටව් අන්තිමට අම්මා තාත්තා තනි කරලා ඉගිලිලා යනවා. කතාවේ යන්නෙත් ඒ වගේ තේමාවක්. මෙතන තියෙනවා එකගෙයි කුරුල්ලෝ.



"වෙද හාමිනේ" හැමෝටම මතක ඇති.

සඳ කැන් දහරින් දෙනුවන් තෙමිලා - දෙනුවන් කැලුමින් පියුමන් සැලිලා 

රෙබෙකා නිර්මලී ප්‍රධාන චරිතය කලේ.


ඔය අතරට , "මැණික් නදිය ගලා බසී", "හුමාලය", "රතුරෝස", "ගමන", "කඩවර"  එහෙමත් තිබුනා. එතකොට නාලන් මෙන්ඩිස්ගේම දූ දරුවෝ ස්ටයිල් එකේ තවත් කතා තිබුනා "නෑදෑයෝ", "සූරිය දරුවෝ" එහෙම. චතුරිකා පීරිස් කරලියට ආවේ සූරිය දරුවෝ එකෙන්, මට මතක විදිහට. ඡන්න පෙරේරා, රොෂාන් පිලපිටිය  එහෙමත් හිටියා.




මී ලඟට මට කියන්නම ඕන ටෙලියක් තමා "අකාල සන්ධ්‍යා". ජයන්ත චන්ද්‍රසිරි ගේ තවත් ඇති විශිෂ්ඨ නිර්මාණයක්. කැමැත්තේ අනුපිළිවෙල ට ලිස්ට් එක හැදුවොත් මම අංක එක මේකට දෙනවා. අංගම් පොර, කාල තරණය වගේ දේවල් සම්මිශ්‍රණය කරලා තිතට, නූලට හිතලා හදපු කතාවක්. හරියට ස්ටීවන් ස්පිල්බර්ග් ගේ ෆිල්ම් එකක් වගේ. ජැක්සන් ඇන්තනි, සබීතා පෙරේරා ප්‍රධාන චරිත කළා. මේක විකාශය වෙච්ච දවස්වල මට බලන්න බැරි උනා. පස්සේ ලංකාවෙන් ආවට පස්සේ මේක හොයාගන්න දහ අතේ ට්‍රයි කරා. අන්තිමට ටොරානා එකේ ලොක්කටම ඊ මේල් කොරලා තමයි වැඩේ කරගත්තේ. පස්සේ බලද්දී කොටස් කීපයක් යූ ටියුබ් එකෙත් තිබුනා.  බලලා නැත්නම් අදම බලන්න. සයුරි රෙකමන්ඩේෂන්ස් :)





"සතර දෙනෙක් සෙන්පතියෝ", ඒත් ජයන්ත චන්ද්‍රසිරි ගේ. පුනරුප්පත්තිය තේමා කරගත් කතාවක්. යශෝධා විමලධර්ම, මහේන්ද්‍ර පෙරේරා, ශ්‍රියන්ත මෙන්ඩිස්, රොෂාන් පිලපිටිය තමා සෙන්පතියෝ හතර දෙනා. ඒකත් ආසාවෙන් බලන්න පුළුවන් කතාවක්.




"රම්‍ය සුරම්‍ය", එක ළඟ ගෙවල් දෙකේ ජිවත් වෙන පවුල් දෙකක ගැටීම වගේම ආදර අන්දරයකුත් ගලාගෙන යනවා. සුජානි මෙනකා, බිමල් ජයකොඩි, සුමින්ද සිරිසේන එහෙම ප්‍රධාන චරිත කළේ.



මම තවත් ගොඩක් ආසාවෙන් බලපු කතාවක් "අරුංගල්". උමාලි තිලකරත්න අන්ධ දැරියක් විදිහට ඉන්නේ. කතාව ගෙතෙන්නේ ඇයගේ මල්ලි "චන්ද්‍රරත්න" වටා. හරිම ලස්සන වයලින් වාදන ටිකක් අහන්නත් පුළුවන්.



ඊ ලඟට "අකඩවාරිය". මේකත් අංගම් පොර කතාවක් තමා. අනේ මන්දා මම මෙච්චර අංගම් පොර වලට කැමති මොකද කියලා. පුළුවන් පොරේකුත් නෑ. මොනවා උනත් කතාවේ අවසානේ නම් හිතට ඇල්ලුවේ නෑ. ඒත් මදේ නම් ඉතා ඉහළයි. තාරුකා වන්නිආරච්ච්චි, උද්දික ප්‍රේමරත්න නියමෙට රඟපානවා. නොකියම බෑ පසුබිම් සංගීතය ගැනනම්. හරිම ලස්සනයි. මෙන්න තියනවා බලන්න ඕනෙනම් අකඩවාරිය.






ලඟදි බලපු තවත් හිතට දැනුණු කතාවක් තමා "සුළඟ මත මොහොතක්". හිතට දැනුනා කිව්වේ බරටම දැනුණා. සාරංග දිසාසේකර, තිසුරි යුවනිකා ප්‍රධාන චරිත කරන්නේ. ජීවිතය කියන්නේ ඇත්තටම සුළඟ මත මොහොතක් වගේ. ආදරය, දුක, සතුට  හැමදේම අපිට ඒ මොහොතට දැනෙන දේ. සංසාරය ඊට වඩා කොයි තරම් ගැඹුරුද? කතාව අවසාන වෙන්නේ මේ උපුටා ගැනීමත් එක්ක.

"තව මොහොතකින්, සුළග මත මොහොතක් තුළ ලබන විවේක සුවයකි. ඉක්බිති තවත් ගැහැණියක විසින් මා බිහි කරනු ඇත."

මේ තියෙන්නේ බලනවානම්, සුළඟ මත මොහොතක්.

ඉතින් ඒ ඇරෙන්න මේ දවස්වල දෙවෙනි ඉනිම බලනවා. ලඟදි ගියපු "ප්‍රාණ" කියන කතාවත් බැලුවා. ඒකත් භවය සහ කර්මය ගැන කතාවක්. හිමාලි සයුරංගි, නයනතාරා එහෙම හිටියේ.

ලිස්ට් එක දිග වැඩිදත් මන්දා. මොනවා උනත් මට කියන්න ඕනේ ඉස්සර වගේම තවමත් ඉඳලා හිටලා හරි හොඳ ටෙලි නාට්‍ය බිහි වෙනවා කියන එක.

ඔයාලටත් තවත් මතක් වෙන නාට්‍ය කමෙන්ට් එකකින් කියන්න.


Sunday, May 28, 2017

වලාහකයිනි කමා කළ මැන








                        අමන මැති කැල කරන පව් දිය කරන්නට වැස්සා තමා
                       නොමඳ අසරණ දනන් හට ඉන් කෙරුණු හිරි හැර නැත නිමා
                        සකල ලෝ වැසි සදෙව් පිරිවර මෙතින් කර උන් පව් කමා 
                        වලාහකයිනි පමා කළ මැන මහා දිය කඳ බැමි දමා 






ප. ලි.

ඔබේ සුළු ආධාරය ඔවුන්ට මහ මෙරකි.



Wednesday, May 17, 2017

බල්ලන් බැඳ දැමූ සිංහල රජතුමා - රාජාවලිය XLIII

ගිය පාර ලිපියෙන් අපි කතා කරේ කුසුමාසන දේවිය විමලධර්මසූරිය රජුගේ බිසව වෙලා ඔහුට රාජ්‍ය උරුමය ලබා දීපු හැටිත් එයින් පෘතුගීසින්ට අත් වෙච්චි අන්ත පරාජයත් ගැන නේ.

ඉතිං මේ සිද්ධියත් එක්කම කොළඹ පෘතුගීසි පාලන පෙදෙස් වලත් සිංහල කැරලි කරුවෝ බිහි වෙන්න පටන් ගත්තා. තමන්ට ඇති වෙච්ච ලැජ්ජාව මකා ගන්නත් මේ තත්වය මර්ධනය කරන්නත් අලුතින් කොළඹට පත් කරලා එවපු පෘතුගීසි ආණ්ඩුකාරයා තමයි අති කෘර "දොන් ජෙරනිමෝ ද අසවේදු".

අසවේදු ඉතාමත් නින්දිත සහ කෘර විදිහට සිංහලයාගේ කැරලි මර්ධනය කරන්න පටන් ගත්තා. පෘතුගීසින් අතරම හැදුනු වැදුණු "එදිරිල්ලේ බණ්ඩාර" නම් අයෙක් මෙහෙයවපු විශාල කැරැල්ල මැඩපවත්වා අවසානයේ ඔහු මරා දැමීමට ඔවුන් සමත් වුනා.

මේ කාලයේ වෙච්ච තවත් වැදගත් සිද්ධියක් තමයි ධර්මපාල රජතුමා මරණයට පත් වීම. මතකයි නේද? අපේ රූකඩ රජතුමා, පෘතුගීසින් ගේ සෙවණේ ලෙඩ පිට හිටියේ. එතුමා ඉතින් ලංකාවේ භාර කාරත්වය තෑගි ඔප්පුවකින් පෘතුගාලයේ රජතුමාට පවරලානේ තිබුනේ. ඉතින් මේ වෙලාවේ ජෙරනිමෝ ද අසවේදු කළේ කෝට්ටේ නිලධාරීනුත් රදලයිනුත් කැඳවලා රැස්වීමක් තියලා ලංකාව දැන් පෘතුගාලයේ රජුට අයිති බව කියා ඔවුන්ගෙන් දිවුරුම් ගන්න එක.

ඉන් පස්සේ ලංකාවේ මිනිසුන් පෘතුගාලයේ නීති වලට අනුගත වෙන්න ඕනද කියන එක ගැන තීරණය කරන්න අසවේදු හැම කෝරලයකින්ම සිංහල නිලධාරීන් දෙදෙනා බැගින් මල්වානට කැඳවලා සාකච්ඡා කරනවා. එතැනදී තීරණය වෙන්නේ ලංකාවේ මිනිසුන් තමන්ට පුරුදු සිංහල නීති වලට යටත් විය යුතු බවත් පෘතුගාලයේ රජුට සේවය කළ යුතු බවත්. මෙතැනදී අත්සන් කරන ගිවිසුම තමයි "මල්වානේ ගිවිසුම".

ඉතින් පෘතුගීසින්ට අයත් ප්‍රදේශ මේ ගිවිසුම යටතේ පාලනය වෙන්න පටන් ගත්තා. ඒත් මේ පෘතුගීසින් යටතේ සිංහල නීතිය ක්‍රියාත්මක කිරිල්ල සාර්ථක උනේනම් නැහැ. පාලකයින් ජනතාවගේ පැත්තෙන් නොහිතා ඔවුන් මත බදු බර පටවමින් රාජකාරි කළා. මේ ප්‍රදේශ වල පාලනයට සිංහල දිසාවේ සහ විදානේ ලා පත් කරලා තිබුණා.

මේ වැඩ පිළිවෙල ට තදින්ම විරුද්ධ වෙච්ච කෙනෙක් තමයි විමලධර්මසූරිය රජතුමා. එතුමා පෘතුගීසින්ට විරුද්ධව කැරලි මෙහෙයවනවා. අසවේදුත් ඒ කැරළි මැඩපවත්වන්න පෘතුගීසි සේනා යොදවනවා. ගෝවෙන් ආධාර ලබා ගන්නා අසවේදු අවසානයේ බලන දුර්ගයත් අල්ලා ගන්න සමත් වෙනවා.

මේ අතරේ තවත් වැදගත් සිද්ධිය වෙනවා. ඒ තමයි ප්‍රථම ලන්දේසි නැවේ ආගමනය. ඒ වර්ෂ 1602 දී. ඔවුන්ට උවමනා වෙනවා රාජතුමා හමු වෙන්න. ඉතින් ඔවුන් කැඳවා ගෙන එන්න රජතුමා නියෝජිතයෙක් යවනවා මඩකලපුවට. ඒ අනුව රජතුමා හමු වෙන "අද්මිරාල් ජොරිස් වාන් ස්පිල්බර්ජන්" පෘතුගීසින් පළවා හරින්න ඔවුන්ට උදව් කළ හැකි බව පවසනවා. මේකෙන් රජතුමා ඉතාමත් සතුටට පත් වෙනවා.




මෙයින් මාස කීපෙකට පස්සේ තවත් ලන්දේසි නියෝජිතයෙක් එනවා ලංකාවට. ඒ තමා "සීබෝල්ඩ් ද වාර්ට්". මේ වෙද්දී රජතුමා පෘතුගීසින් සටන් කීපයකින්ම පරද්දලා ඔවුන් දිවයිනෙන් අතුගාලා දැමීමේ උවමනාවෙන් ඉන්නේ. ඉතින් වාර්ට් ගෙන් ඉල්ලීමක් කරනවා මුහුදු ආධාර ලබා දෙන්න කියලා.

ඉතින් මේ වෙලාවේ මඩකලපුව හරහා යාත්‍රා කරපු පෘතුගීසි නැව් කිහිපයක් අල්ලා ගන්න මේ අය කටයුතු කරත් රජතුමා එහි පැමිණීමට කලින් ඔවුන් නිදහස් කරලා යවනවා. මේකටත් උදහසින් ඉන්න අතරේ තමයි වාර්ට් රජතුමාව මුණ ගැහෙන්නේ. හොඳටම සුරා පානය කරලා හිටපු වාර්ට් ගේ කටින් රජතුමාගේ බිසවට, ඒ කියන්නේ කුසුමාසන දේවියට කට කැඩිච්ච කතාවක් කියවෙනවා. මෙවෙලේ හොඳටම කෝප වෙන රජතුමා කියනවා,

"සුරා පානය කරන්නා කුමකට හොබීද? මේ බල්ලා බැඳ දමනු."

කියන ඉතින් මෙවෙලේ ඇතිවෙන කලබලයෙන් වාර්ට් ඇතුළු තවත් ලන්දේසින් 50 ක ගේ විතර ජිවිත නැති වෙනවා. මේ සිද්ධිය නිසා ලන්දේසීන්ගේ උදව් ගැනීමේ රජුගේ බලාපොරොත්තුව නැති වෙලා යනවා.

රජතුමා ගේ මහළු කාලය පැමිණියත් ඔහුගේ දරුවන් සිටියේ ළදරු වයසේ. ඉතින් රජතුමා උත්සාහ කරනවා ඔහු පෘතුගීසින් සමග සිටිද්දී ඔහුට දාව පෘතුගීසි ගැහැණියකට ලැබුණු පුත්‍රයා ගෙන්වා ගන්න. ඒ පුත්‍රයා ඒ වෙද්දී ගෝවේ ඉගන ගනිමින් සිටියේ. එහෙත් පෘතුගීසින්ගෙන් එයට අවසර ලැබෙන්නේ නැහැ.

ඉතින් රජතුමා තමන්ගේ රාජ්‍යයත් දරුවනුත් බිරිඳත් ඔහුගේ පුංචි අම්මාගේ පුතා වන "සෙනරත්" ට බාර දෙනවා. 1604 වසරේ මැයි මාසයේදී දරුණු උණ රෝගයකට ගොදුරු වෙන විමලධර්මසූරිය රජතුමා මරණයට පත් වෙනවා. ඒ තමයි තවත් රජ පෙළපතක් තනා මාතෘ භූමිය වෙනුවෙන් නොබියව සටන් කරපු රජෙක් ගේ අවසානය.

ඉතින් මේ සෙනරත් රජතුමා ගේ කල්කිරියාව ගැනත් අපේ රටේ ප්‍රසිද්ධ ඉඟුරු දී මිරිස් ගැනීමේ සිද්ධිය ගැනත් අපි ඊ ළඟ ලිපියෙන් කතා කරමු.

Friday, April 21, 2017

වවාගෙන කෑම

වවාගෙන කන්න හුඟ දෙනෙක් හරි දක්සයි නේ. මාත් ඉතින් හරිම කැමතියි වවාගෙන කන්න. ගිය අවුරුද්දේ තමයි අපි හොඳටම වවාගෙන කාපු අවුරුද්ද. ඒ ගැන තමයි මම අද කියන්න හිතුවේ. නිකන්ම නෙමෙයි පින්තූරත් එක්ක.

මෙහෙ ඉතින් ලංකාවේ වගේ අවුරුද්ද පුරාම වවන්න බෑ. වසන්ත කාලේ පටන් ගන්නකොට තමයි ඉතින් වවන්න පටන් ගන්න වෙන්නේ. වසන්ත කාලෙට තියෙන්නේ අර නුවරඑළියේ වගේ කාලගුණයක්  (ඒ හින්දා වෙන්න ඇති ඒ කාලෙට සුරංගනාවන් අනන්තවත් එනවා කියන්නේ). ඉතින් ඒ කාලෙට කැරට්, අල,  green peas වගේ එව්වා වවන්න පුළුවන්. 

මටනම් ඉතින් වවන්න මහා ලොකු වත්තක් නැහැ. පුංචි ඉඩක් තියෙන්නේ. ඒ ටිකෙන් උපරිම ප්‍රයෝජනේ ගත්තා.

මේ තියෙන්නේ මම පෝච්චියක වවපු කැරට්. කැරට් ඇට වලින් තමයි පැල කළේ. ඔය ෆෝග්‍රවුන්ඩ් එකේ තියෙන්නේ මින්ට් ගහක් හොඳේ. කැරට් අල ටික නියමිත කාලේ ආවම ඉතින් අපි අනුභව කරා :)



එතකොට මේ තියෙන්නේ peas. මේවා වැල් හැටියට හැදෙන නිසා මොකක් හරි ආධාරකයක් ඕන වැල් ඇදෙන්න.  මේවා හැදුනෙත් ඇට වලින්.



එතකොට මේ තියෙන්නේ සලාද කොළ ජාති. මේවානම් පැල ගෙනත් හිටෙව්වේ. හරි ඉක්මනට වැවෙනවා. සයුරු ගොඩක් දවස් වලට සලාද කන්න කැමති නිසා අපතේ ගියේ නැහැ. ඒත් ගිම්හානේ ඇවිත් ඉර අවුව සැර වෙද්දී කොළ තිත්ත රස වෙන නිසා මාස කීපයයි මේක කරන්න පුළුවන්.




එතකොට මේ තමා හොඳම එක. ස්ට්‍රෝබෙරි. කුරුල්ලන්ගෙන් පරෙස්සම් කරගන්න එක නම් අමාරුයි.




මේ තියෙන්නේ අපේ අල ඵලදාව. ලොකු පෝච්චියක හිටවපු අර්තාපල් අංකුර
තුනකින්  තමයි මේ ටික ලැබුනේ. කරුමෙට ඒ පෝච්චියේ ෆොටෝ එකක් නෑ. අස්වැන්න විතරයි තියෙන්නේ.



ඉතින් සමර් එක එද්දී අර උඩින් කියපු ඒවා වෙනුවට තවත් දේවල් වවන්න පුළුවන්.
මේ තියෙන්නේ තක්කාලි ගස් දෙකක් සහ බණ්ඩක්කා, වම්බටු පැල කීපයක්. තක්කාලි නම් මදි නොකියන්න හැදුනා. අනිත් ඒවායේ ගෙඩියක් හැදීගෙන එනකොටම ලේන්නු ඇවිත් වැඩේ දෙනවා. ලසන්නට නැට්ට ගහේ ඉතුරු වෙන්න ගෙඩිය කාලා යනවා. ඉතින් අපිට කන්න උනේ නෑ.



තවත් ඉක්මනින් වගේම ලේසියෙන් වවන්න පුළුවන් දෙයක් තමා බෝංචි. මම වැව්වේ පඳුරු විදියට හැදෙන බටර් බෝංචි ජාතියක්. ඔය තියෙන්නේ අස්වැන්නෙන් ටිකක් විතරයි. තුන් හතර පාරක්ම අස්වැන්න ගන්න පුළුවන් ඒවායින්.



මේකත් පෙන්නන්නම ඕන එකක්. ගොටුකොළ සහ මුකුණුවැන්න. මේවා ඉතින් මේ රටෙන් හොයාගන්න හරි අමාරුයි වවාගෙනම කෑවොත් මිසක්.



මේකේ ඉස්සරහම පෝච්චියේ තියෙන්නේ කේල් කියන පලා ජාතිය. ඒවත් ඇට වලින් පැල කර ගත්තේ. මාළු මිරිස් ගහකුත් පිටිපස්සේ බීට් රූට් පැලේකුත් තියනවා.




ඔන්න ඔහොම තමා මම ගිය අවුරුද්දේ වවාගෙන කෑවේ. මේ අවුරුද්දෙත් එහෙම කරන්න තමයි බලාපොරොත්තුව...

මොනවා උනත් තමන්ගේ අතින් හිටවපු ඇටේකින් පැල වෙච්ච ගහක හැදිච්ච දෙයක් කනකොට හරිම සතුටක් දැනෙනවා.

Monday, April 10, 2017

කුසුමාසන දේවිය දෝන කතිරිනා - රාජාවලිය XLII

අපි ගිය පාර කතාව නැවැත්තුවේ කොනප්පු බණ්ඩාර "විමලධර්මසූරිය" නමින් උඩරට රජ වෙච්ච තැනින් සහ රාජසිංහ රජතුමා මිය පරලොව ගිය තැනින් නේ. අද එතැන් සිට...

මේ විමලධර්මසූරිය රජතුමා කුඩා කාලයේ පෘතුගීසින් ළඟ ඇති දැඩි වී අධ්‍යාපනය ලැබූ නිසාම ඔවුන් ගැනත් හොඳින් දැන ගෙනයි හිටියේ. ඉතින් ඔවුන් ට විරුද්ධව සටන් කිරීමේදීත් ඒ දැනුම ප්‍රයෝජනවත් උනා. ඒ වගේම මේ රජතුමා බුදු දහමට ලැදි, බෞද්ධයින්ට අනුග්‍රහය දක්වන කෙනෙක් උනා. මහනුවර දළදා මාළිගාව තැනෙව්වෙත් මෙතුමා කියලා ඉතින් හැමෝම දන්නවනේ.

මේ අතරේ සීතාවක රාජධාණියේ උරුමය ගැන ගැටළු ඇති වෙනවා. රාජසිංහ රජුට දරුවන් නැති නිසා ඔහුගේ සොයුරිය (වීදිය බණ්ඩාරගේ වැන්දඹු බිරිය) වන සූරිය දේවියට රජකම හිමි වෙනවා. ඉතින් ඇය කරන්නේ තවමත් ළාබාල වයසේ පසුවෙන ඇගේ මුණුපුරු "නිකපිටිය බණ්ඩාර" ට සිහසුන පවරන එක. මේ හැම දේකටම සහය දීපු තවත් කෙනෙක් තමයි ඉන්දියාවෙන් ආ සන්නාසියෙකු වන "අරිට්ඨ කිංවෙඩු".

නිකපිටියබණ්ඩාර ගේ හමුදාවේ ප්‍රධාන තනතුර අරිට්ඨ කිංවෙඩු ට දීම ගැන කෝප වෙන පනික්කි සහ කුරුප්පු නම් සෙනෙවියන් තමන්ගේ හමුදාත් රැගෙන කෝට්ටේ වෙත යනවා. මේ බල අරගල මැද්දේ කෝට්ටේ දේශ සීමා නැවත අල්ලා ගන්න පෘතුගීසින් සමත් වෙනවා.

අරිට්ඨකිංවෙඩු ගේ මී ළඟ උපාය වෙන්නේ සූරිය දේවි විවාහ කරගෙන සිහසුනේ උරුමය ලබා ගන්න එක. ඒත් සූරිය දේවි ඔහු එළවා දමනවා. මේ නිසා ඔහුත් අවසානයේ පෘතුගීසින්ට සහාය දෙනවා. සීතාවක රාජධානියේ මේ දුර්වල වීමත් එක්කම කෝට්ටෙන් එන දෙනාව සීතාවක රාජධාණිය අල්ලාගෙන මාළිගාව ගිනිබත් කරනවා. පලා යමින් සිටි සූරියදේවී සහ නිකපිටියබණ්ඩාර අල්ලා ගන්නා ඔවුන් නිකපිටියබණ්ඩාර පෘතුගීසීන්ගේ භාරයට පත් කර ගෝවට පිටත් කර හරිනවා. පසුව ඔහු ඉන්දියාවේ විශ්ව විද්‍යාලයක ඉගෙනුම ලබනවා. ලාංකිකයෙක් මුලින්ම විදේශ විශ්ව විද්‍යාලයක ඉගෙනුම ලබපු අවස්ථාව මේක කියලයි කියන්නේ.



මේ වෙද්දී පෘතුගීසින් යාපනයත් යටත් කරගෙනයි ඉන්නේ. ඉතින් කෝට්ටේ සාහ සීතාවකත් යටත් කරගැනීම නිසා උදම් වෙන ඔවුන්ට මී ළඟට ඕන වෙන්නේ උඩරට යටත් කරගැනීමට. මේ සඳහා ඔවුන්ට හොඳ තුරුම්පුවකුත් තියනවා. ඒ තමා කුසුමාසන දේවිය නොහොත් දෝන කතිරිනා. ඇය ට උඩරට සිහසුනේ උරුමය පියා වෙච්ච කරලියද්දේ බණ්ඩාරගෙන් ලැබිලා තියනවා. අනිත් අතට විමලධර්මසූරිය රජුට සිහසුනට නියම උරුමයක් නැහැ.

පරසිදු කරලියැද්ද - දුව කිරුළිස පැලැන්ද 
කුසුමාසන දේවිය දෝන කතිරිනා 

ඉතින් දෝන කතිරිනාවත් අරගෙන පෘතුගීසි සේනාව උඩරට බලා යනවා. මේ සේනාව නවත්වන්න උඩරටිනුත් සේනාවක් ආවත් දෝන කතිරිනා දැකීමෙන් පසු ඔවුන් විරුද්ධ වෙන්නේ නැහැ. මෙය දැනගන්න විමලධර්මසූරිය රජු උපක්‍රමශීලී ව පසු බසිනවා. ඉතින් උඩරට රාජධාණියට ඇතුල් වෙන පෘතුගීසින් දෝන කතිරිනා සිහසුනේ හිඳුවා මුළු රටම ඔවුන්ගේ අණසක යටතට ගන්නවා.

පිට නම් ගම් මොකටද - සිංහාසන කුමටද 
සෙංකඩගල ඇගෙ රජ මැදුර සමානා 

උඩරට රැජිණ ගැන ජනතාව සතුටු උනත් ඔවුන්ට ඇය දකින්නට අවසර ලැබෙන්නේ නැහැ. ඇය ඉන්නේ පෘතුගීසින් ගේ දරුණු රැකවල් මාධ්‍යයේ. ඒ විතරක් නෙමෙයි, ළඟදීම පෘතුගීසියෙක් ඇය අවාහ කරගන්නා බවටත් කතාවක් පැතිරෙනවා. මේ නිසා ජනතාව අප්‍රසාදයට පත් වෙනවා.

කපිතන් දියෝගුගෙන් - දැන කඩු ශිල්ප හටන්
කොන්තය ගෙලේ බැන්ද පරංගි වාඩියේ

                                              කොණප්පු බණ්ඩාරට - පූජා කල ප්‍රේමය
මිහිරිම හීනයක්ද වසන්ත කාලයේ 


මේ අවස්ථාවෙන් ප්‍රයෝජනය ලැබෙන්නේ විමලධර්මසූරිය ට. ජනතා සහාය අහිමිව නැවත කොළඹ යන පෘතුගීසි සේනාව දන්තුරේදී වටලා ඉතා දරුණු ආකාරයට පහර දී ඔවුන්ව පළවා හරිනවා. 

දෝන කතිරිනා වත් රැගෙන නැවත මහනුවර ට යන ඔහුට විශාල ජනතා පිළිගැනීමක් ලැබෙනවා. ඉතින් දෝන කතිරිනා නොහොත් කුසුමාසන දේවිය කොනප්පුබණ්ඩාර ට බිසව වී ඔහුට රජ කිරුළේ ඇති අයිතිය තහවුරු කර දෙනවා. 

වාහල ඉලංගමට- ගිය දා දන්තුරේට
අස් පන්තියේ හරඹ දෑහින් දැකලා

දළු ලන වසන්තයට - රොන්සුනු පුරා ලයට
අළුත්ම මලක් වෙලා පිපෙන්න හිතිලා

මේ සිද්ධිය සිංහල ඉතිහාසයේ වැදගත් හැරවුම් ලක්ෂ්‍යක් කියලයි මට හිතෙන්නේ. පෘතුගීසින්ට මුළු රටම නතු වෙන්න ගිය මොහොතක කොනප්පුබණ්ඩාර ගේ ශක්තියත් කුසුමාසන දේවියගේ උරුමයත් එක් වී උඩරට රාජධානියේ අලුත් රජ පරපුරක් තැනීම නිසා එහි ස්වාධීනත්වය තවත් ශත වර්ෂ ගණනාවකට ආරක්ෂා උනා. 


                                               



මේ වෙච්ච අවනම්බුවෙන් ගොඩ එන්න පෘතුගීසින්ට පත් කරලා එවපු අලුත් නිලධාරියා වන "ජෙරනිමෝ ද අසවේදු" ගේ කුරිරු කම් ගැන අපි ඊ ළඟ ලිපියෙන් කියවමු.

Related Posts Plugin for WordPress, Blogger...