Tuesday, February 28, 2012

අධික අවුරුද්දේ වගතුග


ඔන්න එහෙනම් අද (නවම් මස 29 වෙනිදා) උපන්දිනය සමරන හැම දෙනාටම සුබම සුබ උපන්දිනයක් වේවා කියලම ලිපිය පටන් ගන්නම්. මොකද මේ කට්ටිය හරියාකාර උපන්දිනයක් සමරන්නේ අවුරුදු 4 කට සැරයක්නේ :)

අධික අවුරුද්ද ගැන කතා කරනවානම් මේ ගැන බොහෝ දෙනා දන්නවා. ඒත් නොදන්නා අයත් හිටියොත් කියලා තවත් තොරතුරු ටිකක් එක්කම මේ ගැන ලියන්නම්කො.

හොඳයි, අපි බලමු ඇයි අපිට මේ අධික අවුරුද්දක් ඕන වෙන්නේ කියලා. ඔයාලා දන්නවනේ සාමාන්‍යයෙන් අපේ සම්මතය තමයි පෘතුවියට  සූර්යයා වටේ එක් වටයක් යන්න  දවස් 365 ක්‌ (අවුරුද්දක්) ගත වෙනවා කියන එක. (ඒ කියන්නේ පෘතුවිය සූර්යයා ගේ වටේ යන ගමන් තමන්ගේ අක්ෂය වටේත් 365 පාරක් කැරකිලා.)

 සූර්යයා වටේ පෘතුවියට වටයක් යන්න ගත වෙන කාලයට කියන්නේ "සූර්ය වර්ෂයක්" කියලා. දින 365 දාලා හදා ගත්ත අවුරුද්දට අපි කියමු "දින දර්ශන වර්ෂයක්" කියලා. වැඩේ තියෙන්නේ ඔය සූර්ය වර්ෂයයි දින දර්ශන වර්ෂයක් සමාන නැතිලු. ඒ කියන්නේ පෘතුවියට සූර්යයා වටේ යන්න ගත වෙන කාලය හරියටම දින 365 නෙමෙයි. පෘතුවියට ඒකට ආසන්න වශයෙන් දින 365 යි 1/4 ක්‌ ගත වෙනවා.

ඉතින් සාමාන්‍ය අවුරුද්දක දෙසැම්බර් 31 වෙනිදා රෑ ගෝල් ෆේස් එකේ මල් වෙඩි ගැහුවට (දින දර්ශන අවුරුද්දක් ඉවර වීමේ ප්‍රීතිය නිමිත්තෙන්) සූර්ය වර්ෂය තවම ඉවර නැහැ. තවත් දවස් 1/4 ක කාලයක් ඉතුරුයි සූර්ය වර්ෂය සම්පුර්ණ කරන්න. පින්තූරේ බලන්නකෝ...අපි ජනවාරි 1 දා හිටියේ ඔය රතු තිත  තියන තැන නම්, දෙසැම්බර් 31 දා පෘතුවිය තියෙන්නේ මෙතන (පරිමාණය නිවැරදි නැත). දවස් 365 ගියාට සම්පූර්ණ වටයක් ගිහිල්ලා නැහැ.



ඒත් ඉතින් අපි මක් කරන්නද ඒකට? මොකෝ තව පැය 6 ක්‌ ඉඳලා, ආ දැන් තමයි ජනවාරි පළවෙනිදා කියලා එතන ඉඳං දවස පටන් ගන්න කියලයැ. අපිත් ඉතින් ඔන්න ඔහේ ඒ වැරැද්ද ගණන් නොගෙන සූර්ය වර්ෂය ඉවර වෙන්න පැය කීපෙකට කලින් අපේ දින දර්ශන වර්ෂය අවසාන කරනවා. දෙවැනි අවුරුද්දෙත් ඒකම කරනවා. එතකොට වෙනස දවස් බාගයයි (1/4 ඒවා දෙකයි :). තුන්වෙනි අවුරුද්දෙදි ඒ වෙනස දින 3/4 ක්‌ වෙනවා. ඔය විදියට මේ වැරැද්ද දිගටම ගෙනියන්න බැහැ නේ. හතරවෙනි අවුරුද්ද ආවම අපි සූර්ය වර්ෂයට වඩා සම්පූර්ණ දවසක්ම ඉස්සරහින් ඉන්න නිසා එතැනදී අපි වැරැද්ද හදා ගන්නවා. ඒ කියන්නේ අපේ දින දර්ශනේට වැඩිපුර දවසක් එකතු කරලා සූර්ය වර්ෂයත් එක්ක ගලපා ගන්නවා. ඒ වැඩිපුර එකතු කරන දවස එකතු කරන්නේ පෙබරවාරි මාසයට (ඒ මොකද කියලා නම් මම දන්නේ නැහැ). අන්න එහෙම දවසක් එකතු කරපු අවුරුද්දකට කියන්නේ අධික අවුරුද්දක් කියලා. ඒවා එන්නේ අවු. 4 කට සැරයක් නිසා අවුරුද්ද 4 න් බෙදෙනවානම් අන්න ඒක අධික අවුරුද්දක්.

මේ අධික අවුරුදු සංකල්පය කැලැන්ඩරේට හඳුන්වලා දීලා තියෙන්නේ "ජුලියස් සීසර්" ලු. ඒකට කියන්නේ "ජුලියන් දින දර්ශනය" කියලා. කොහොමද ජුලියස් සීසර් ගේ වැඩ?

හැබැයි ඉතින් ජුලියස් ට උනත් වරදින තැන් තියෙනවනේ. සීසර් ඔය වැඩේ කරලා තියෙන්නේ සූර්ය වර්ෂයකට දින 365 යි 1/4 ක්‌ කියලා උපකල්පනය කරගෙන. හැබැයි ඒක හරියටම එහෙම නෙමෙයි. හරියටම කිව්වොත්  පෘතුවියට සූර්යයා වටේ යන්න දින 365 යි පැය 5 යි මිනිත්තු 48 යි තත්පර 46 යි ගත වෙන්නේ. පැය 5 යි මිනිත්තු 48 යි තත්පර 46 කියන්නේ දවස් 1/4 ට අඩුයි. ඉතින් මේ ක්‍රමේට අනුවත්  මිනිත්තු ගානක සුළු වැරැද්දක් අපේ දින දර්ශනේට එකතු වෙනවා. හැබැයි මේ වතාවේ ඒ වැරැද්ද හින්දා අපි හැම තිස්සෙම ඉන්නේ සූර්ය වර්ෂයට පිටි පස්සෙන් (මොකද අධික අවුරුද්දකට අපි සම්පූර්ණ දවසක්ම එකතු කරලා දින දර්ශනේ පරක්කු කරාට හරි විදියටනම් එකතු කරන්න ඕන පැය 23 මි. 15 ත. 4 යි.  ඒ නිසා අපි හැම අවුරුදු 4 කට සැරයක්ම මිනිත්තු ගණනක් වැඩිපුර පරක්කු වෙනවා).

ඉතින් මේ වැරැද්ද ගැන මිනිස්සුන්ට මීටර් උනේ ශත වර්ෂ ගණනාවකට පස්සේ. අර සුළු වැරැද්ද දිගටම දින දර්ශනේට සිද්ධ වෙලා ඒක සැලකිය යුතු වැරැද්දක් බවට පත් වෙලා කියලා මිනිස්සුන්ට තේරුනා, මාර්තු 21 වෙනිදාට සමකයට මුදුන් වෙන්න ඕන ඉර, මාර්තු 11 වෙනිදා වෙද්දි මුදුන් වෙනකොට. ඒ කියන්නේ ඒ වෙද්දි අපේ කට්ටිය ඉඳල තියෙන්නේ සූර්ය වර්ෂයට දවස් 10 ක්‌ පිටිපස්සෙන්. ඔය විදියට දිගටම ගියානම් එහෙම සෘතු කාල පවා වෙනස් වෙන්න තිබුණා.

ඉතින් මේකට වහාම ක්‍රියා මාර්ගයක් ගත්තා Pope Gregory XIII. ඒ 1582 දී. හරියට ගණන් බලලා  කැලැන්ඩරේ දින 10 කින් ඉදිරියට අරන් ගියා. ඒත් එහෙම කරලා මදි නේ. තව දුරටත් මේ වැරැද්ද නොවෙන්න වග බලාගන්නත් ඕනනේ. ඒකට කරා මෙහෙම දෙයක්. හැම අවුරුදු 4 කට සැරයක්ම අධික අවුරුද්දක් යොදනවා. හැබැයි 400 න් නොබෙදෙන ශත වර්ෂ වලදී හැර . උදාහරණයක් හැටියට 1900 කියන්නේ ශත වර්ෂයක් වගේම ඒක 400 න් බෙදෙන්නෙත් නැහැ. ඒ නිසා 1900 අධික අවුරුද්දක් නෙමෙයි. හැබැයි 2000 ශත වර්ෂයක් උනාට 400 න් බෙදෙන නිසා ඒක අධික අවුරුද්දක්. දැන් ඔයාලට පේනවා ඇති මේ ක්‍රමේ අනුව හැම අවුරුදු 400 කට වරක්ම කලින් තිබුනට වඩා අධික අවුරුදු 3 ක්‌ අඩු වෙන බව. ඔය විදියට තමයි ජුලියන් දින දර්ශනේ තිබුණු පරක්කුව නැති කලේ. මේ අලුත් දින දර්ශනේ ට කියන්නේ "ග්‍රෙගෝරියන් දින දර්ශනය" කියලා.

මේ අලුත් කැලැන්ඩරේ හැම රටක්ම එක පාරටම පිළිඅරගෙන නැහැ. උදාහරණයක් විදියට එංගලන්තේ මේක පිලි අරගෙන තියෙන්නේ 1752 දී. රජතුමා එක පාරට අණ කරාලු සැප්තැම්බර් මාසෙන් දවස් 11 ක්‌ අයින් කරන්න. (දවස් ගාන 11 ක්‌ වුනේ මේ අය 1700 දී ත් ජුලියන් ක්‍රමයට අනුව අධික අවුරුද්දක් දාගෙන තිබුණු නිසා. ඉතින් ඒ දවසත් අර දවස් 10 ට අමතරව අඩු කරන්න ඕන නේ.)



ඔන්න ඔහොමලු ඉතින් උනේ.

මොනවා උනත් හැම දේකම කොහෙන් හරි කොස්සක් ඉතුරු වෙනවනේ. ඒ වගේ මේ ග්‍රෙගෝරියන් කැලැන්ඩරේ වුනත් 100% ම නිවැරදි නැහැ. ඒකෙත් තත්පර ගානක සුළු වැරැද්දක් තියනවලු. හැබැයි ඒ වැරැද්ද හින්දා දවසක වෙනසක් එන්න තව අවුරුදු 3000 ක්‌ යනවලු. ඒ නිසා දැනට ඒක ගැන අපි හිතන්නේ නැහැ. අපේ අනාගත ජනතාව ඒවා කරගන්නේ නැතෑ නේද...

Thursday, February 23, 2012

මාල පොඩිත්තක්




රෝස මලෙන් රතු
පාට බිඳක් ගෙන
මාල පොටක් මම
හදලා දෙන්නම්

රෑක ඇවිත් සඳ
හැමට හොරෙන් නුඹෙ
ගෙල වට කර එය
බැඳලා යන්නම්

සාර සියක් මල්
රේණු ගෙනත් අපෙ
නිවහන මි අඹ
අත්තෙ තනන්නම්

කාර බැඳන් නුඹ
පුංචි පැලට මගෙ
තනිය මකන්නට
කැන්දන් එන්නම්

රෑට වැටෙන පිනි
ගෙට නොවැටෙන්නට
නෙලුම් පතෙන් මුතු
කුඩ ඉහලන්නම්

ඈත වනෙන් නෙක
මීරි මියුරු ඵල
නුඹේ ලඟට මම
ගෙනැවිත් දෙන්නම්

අපේ පැලේ පොඩි
පැටව් හඬන කොට
ගීත ගයා එය
සැමට කියන්නම්

මිතුරු කැලත් ළඟ
පාත ඉඳන් ගී
ආසිරි මල් දෙන
තාලෙ අසන්නම්

තෑගි අරන් නුඹෙ
නෑයො ඇවිත් යළි
රෑන සලා යන
පාර බලන්නම්

පුංචි එවුන් අපෙ
දොරට වඩින දින
නුඹත් එක්ක තුටු
කඳුළු සලන්නම්

Monday, February 20, 2012

ආමිෂ්



ඔන්න අද මම කියන්න යන්නේ හඳ අල්ලපු රටේ විත්තියක් ගැන...

"ආමිෂ්" කියන වචනේ ඔයාලා අහලත් ඇති. නැති අයට දැන ගන්නත් එක්ක පොඩි හැඳින්වීමක් කරන්නම්කො. "ආමිෂ්" කියන්නේ හඳ අල්ලපු රටේ ජිවත් වෙන ජන කොට්ටාශයක්. මෙයාලාගේ ආරම්භය සිද්ධ වෙලා තියෙන්නේ නම් යුරෝපයේ. දහසය වෙනි සියවසේදී යුරෝපයේ වෙනම ආගමික කණ්ඩායමක් බිහි උනාලු "මෙනොනයිට්" නමින්. ඔවුන්ගේ නීතියේ හැටියට පුද්ගලයෙක් දෙපාරක් බෞතිස්ම කරනවලු. පුද්ගලයා  යමක් කමක් තේරුම් ගන්න පුළුවන් වැඩිහිටියෙක් බවට පත් උනාට පස්සේ ස්වකැමැත්තෙන් නැවත බෞතිස්ම කරනවලු.  ඔවුන්ගේ නීති රීති තද මදි කියලා විශ්වාස කරපු මේ කණ්ඩායමේ ම  තවත් ටික දෙනෙක් "ජේකොබ් අම්මන්" කියන පුද්ගලයා ගේ නායකත්වය යටතේ වෙනම කණ්ඩායමක් හැටියට වෙන් වෙලා ගියාලු. අන්න එයාලා තමයි මේ "ආමිෂ්" ජනතාව. "අම්මන්වරු / අම්මන්ගේ අනුගාමිකයින්" කියන තේරුමෙන් තමයි ආමිෂ් කියන නම එයාලට ලැබිල තියෙන්නේ.

ඉතින් මුල් වරට ආමිෂ් කණ්ඩායමක් ඇමරිකාවට ඇවිත් තියෙන්නේ 1730 දී, පෙනිසිල්වේනියා ප්‍රාන්තය ට. ඉන් පස්සේ වරින් වර ඇමරිකාවට සංක්‍රමණය වුනු මේ අය අද වන විට ප්‍රාන්ත විසි ගණනක පමණ ජීවත් වෙනවා.

අපි බලමු මෙයාලගේ විශේෂත්වය මොකක්ද කියලා. මේ අය ජීවත් වෙන්නේ අන්තිම සරල විදියට. කොටින්ම කියනවනම් 18 වන සියවසට පසුව පැමිණි තාක්ෂණය භාවිතා කරන එක එයාලට තහනම්. එතකොට කල්පනා කරලා බලන්නකෝ අපිට තියන එයාලට නැති දේවල්...විදුලිය, වාහන, රූපවාහිනිය,  මොබයිල් ෆෝන්, ඩෙස්ක් ටොප්, ලැප් ටොප්, ඉන්ටර්නෙට්, අයි ෆෝන්, අයි පෑඩ් (හික්)...හප්පා, මේවා නැතුව ජීවත් වෙන හැටි ඔයාලට හිතාගන්න පුළුවන්ද? අපිට බැහැ වගේ පෙනුනට එයාල එහෙම තමයි ජීවත් වෙන්නේ. ආමිෂ් උප ජන කොටස් අතර මේ නීති රීති තරමක් එකිනෙකට වෙනස් උනත් බොහෝ දුරට මේ නීති ඔවුන්ට පොදුයි.

අර උඩ පින්තුරයේ ඉන්නේ ආමිෂ් පවුලක්. අපිනම්  ඉඳල හිටලා මේ වගේ අය දකිනවා.  ඇඳුම් වලින් ඔවුන්ව ලේසියෙන් අඳුර ගන්න පුළුවන්. අශ්ව කරත්තවලින් තමයි ඒ අය ගමන් බිමන් යන්නේ.



ඔවුන් ගොඩක් වෙලාවට උත්සාහ කරන්නේ නවීන සමාජයෙන් හැකිතාක් දුරට වෙන් වෙලා ඉන්න. වෙනම ගම්මාන වල ජීවත් වන ඔවුන් තමන්ගේ අහාර ගමේම වගා කරගන්නවා. ඒ සඳහා යොදා ගන්නෙත් පැරණි සාම්ප්‍රදායික උපකරණ සහ සතුන්.


ඔවුන්ගේ ඇඳුම් ගැන කියනවනම් තනි පාට රෙදි වලින් තමයි ඇඳුම් මහන්නේ. සාමාන්‍යයෙන් ගෙදර ගෘහණිය පවුලටම ඇඳුම් මැසීම කරනවා. කාන්තාවන්ගේ ඇඳුම් ගොඩක් දුරට තද පාට රෙද්දකින් ඒප්‍රනයක් සහිතව දිග ගවුමක් ආකාරයට සකස් කරනවා. පිරිමි අයගේ ඇඳුම වෙන්නේ ලා පැහැ කමිසයකුත් තද පැහැ කලිසමකුත්. අවිවාහක පිරිමින් රැවුල මුඩු කරන අතර විවාහ වූ පසුව එය නොකපා දිගට වැවෙන්නට හරිනවා. එහෙත් උඩු රැවුල වැවීම තහනම්. ගැහැණු අය කොණ්ඩය බැඳ සුදු පැහැ හිස් වැසුමකින් හිස ආවරණය කළ යුතුයි.



ඔවුන් අධ්‍යාපනය ලබන්නේ 8 හෝ 9 වන ශ්‍රේණිය වන තෙක් පමණයි. එයද සිදුවන්නේ ගමේම පවත්වනු ලබන කුඩා පන්තියක. ජීවත් වීම‍ට අවශ්‍ය මූලික දැනුම (ගණිතය, විද්‍යාව, ඉංග්‍රීසි, භූ ගෝලය ආදී) මෙහිදී ලබා දෙනවා. ඔවුන්ගේ මවු භාෂාව වන්නේ "පෙනිසිල්වේනියන් ඩච්".



ඔවුන්ගේ ජිවිත ඉතාමත් සාමකාමී යි. මත්ද්‍රව්‍ය භාවිතා වෙන්නෙම නැති තරම්. දික් කසාද සිදු නොවන අතර වෙන් වීම් සිදු වන්නේ ඉතාමත් කලාතුරකින්. ඔවුන්ට ආමිෂ් නොවන අය සමග විවාහ වීම තහනම්. "පවුල" ඔවුන්ගේ වැදගත්ම ඒකකය ලෙස සළකන අතර සාමාන්‍යයෙන් එක පවුලකට දරුවන් 7 ක් 10 ක් අතර ප්‍රමාණයක් සිටිනවා. පසුගිය අවු. 50 ඇතුලත ආමිෂ් ජන ගහනය තුන් ගුණයක් වී ඇති බව පැවසෙනවා.

ඒ එක්කම වැදගත් දෙයක් කිව යුතුයි. මෙහිදී කිසිම කෙනෙක් බලෙන් ආමිෂ් ලෙස රඳවා ගැනීමක් කරන්නේ නැහැ. ළමයෙක් යොවුන් වයසට ආවට පස්සේ ඔවුන්ට කාල පරාසයක් ලබා දෙනවා බාහිර සමාජයත් සමග මිශ්‍ර වෙලා අත්දැකීම් ලබා ගන්න.  "running around" ලෙස හැඳින්වෙන මේ කාලයේදී ඔවුන්ට ඕනෑම දෙයක් කරන්න නිදහස තියනවා. තමන්ට ඇති කියලා හිතුනම ඔහු/ඇය තීරණයක්‌ ගන්නවා නවීන සමාජයට එකතු වෙනවද එහෙම නැත්නම් ආමිෂ් කෙනෙක් හැටියට බෞතිස්ම වෙනවද කියලා. මෙතැනදී ගොඩක් දෙනෙක් ආමිෂ් මාර්ගය තෝරා ගන්න එක ලු වෙන්නේ.


ඔවුන් දේශපාලනය සමග සම්බන්ධ නොවන අතර රජයේ පාලනයෙන්ද හැකි තාක් දුරට ඈත් වී සිටිනවා. මොනයම් ආකාරයක හෝ භිෂණය හෙලා දකින ඔවුන් ආරක්ෂක කටයුතු සඳහා සම්බන්ධ වෙන්නෙත් නැහැ.  නීති රීති පැහැර හරින  ආමිෂ් පුද්ගලයින් ඔවුන්ගේ සමාජයෙන් කොන් කර නෙරපා හැරීමක් සිදු කරනවා. 

ඉතින් මේ ස්වභාව ධර්මයත් එක්ක ජීවත් වෙන සරල මිනිස්සුන්ගේ ජීවිත කොයි තරම් සුන්දරද කියලා මටනම් වෙලාවකට හිතෙනවා. විච්චුරණ ගැජමැටික්ස් එක්ක ජීවත් වෙන අපි මීට වඩා කොයි තරම් කෘතිමයිද? නිස්කලංක ආමිෂ් ගම්මානෙක තියන පළා පාට ලස්සන, අහස හූරන මේ නගරවල තියනවද? තිරිඟු යායවල් උඩින් හමන පිරිසිදු හුළඟ, නගර හරහා හමන ගිනි හුලං වගේ අපේ හුස්ම හිර කරනවද කවදාවත්? ගම්මානේ මැදින් ගලන පලිඟු වගේ පැහැදිළි දිය පාර,  ගඟක් වෙලා මහ නගර පහු කරගෙන යද්දී ඒ පලිඟු පාටට මොනවද වෙන්නේ?  



සරළ, සුන්දර ජීවිත ගත කරන ඔවුනුත් අවිවේකි, අසම්පූර්ණ ජීවිත ගත කරමින් තාක්‍ෂණේ පස්සේ දුවන අපිත් අන්තිමේදී පොළවට පස් වෙනවා. වෙනසකට තියෙන්නේ පොළවට බරක් නොවී මැරෙන ඔවුන්ව මහ පොළවත් ආදරෙන් වැළඳ ගනිද්දී අපි මැරෙන්නේ ඒ පොළොවත් මරාගෙන. 


Thursday, February 16, 2012

සුභ, යස සහ වසභ - රාජාවලිය XII




ගිය වතාවේ අපි කිව්වනේ   ඉළනාග රජතුමා ට වෙච්ච හදිය ගැනත් එතුමා ක්‍රි. ව. 44 වන තෙක් ලක්දිව පාලනය කළ බවත්.  ඉතින් ඉළනාග රජතුමා ගෙන් පස්සේ රජ උනේ ඔහුගේ වැඩි මහල් පුතා, "චන්ද්‍රමුඛසිව" (ක්‍රි. ව. 44 -52). මේ චන්ද්‍රමුඛසිව රජතුමාගේ බිරිඳ ද්‍රවිඩ කාන්තාවක් ලු. ප්‍රථමයෙන්ම ද්‍රවිඩ බිසවක් පාවා ගත් රජු හැටියට මෙතුමා හැඳින්වෙනවා. 


තිස්ස වැවේ පැවැත්වුණු ජල ක්‍රීඩා උත්සවයකදී මේ චන්ද්‍රමුඛසිව රජතුමාට තමන්ගේ බාල සොහොයුරා වන "යසලාලක තිස්ස" අතින් මැරුම් කන්න සිද්ධ වෙනවා. තමන්ගේ අයියණ්ඩිය දියේ ගිල්වා මරලා, යසලාලක තිස්ස (යස) රජතුමා (ක්‍රි. ව. 52 - 60) ලංකාවේ රජ වෙනවා. මොහු ටිකක් විනෝදෙට, සෙල්ලමට බරයි ලු. ඔය අතරේ රජ මාළිගාවේ දොරටු පාලකයෙක් ඉඳලා තියනවා "ශුභ" (සුභ) කියලා. ඔහු රජතුමාගේ රූපය ට ගොඩක් දුරට සමානයි ලු. ඉතින් රජතුමාට ඔලුවට ආවලු හරිම මනරම් සිතුවිල්ලක්. ඔහුට හිතුනලු කාටවත්ම නොකියා දොරටුපාලයත් එක්ක තනතුර මාරු කරගෙන රාජ සභාව මෝඩයට අන්දන්න. 


හිතපු විදියටම එක දවසක් රජතුමාගේ ඇඳුම්, ආභරණ ශුභ ට අන්දලා ඔහුගේ ඇඳුම් රජතුමා ඇඳගෙන රාජ සභාව ආරම්භ කරාලු. ඉතින් ඇමතිලා එහෙම ඇවිත් සිංහාසනයේ වාඩිවෙලා හිටපු දොරටුපාලයා ට ගරු බුහුමන් දක්වන්න පටන් ගත්තම දොරටුපාලයාගේ රාජකාරිය කරමින් හිටපු රජතුමාට හිනා ගියාලු. ඔන්න එතකොට තමයි දොරටුපාලයා මොළේ පාවිච්චි කළේ. "තැන නොතැන නොබලා හිනා පාන මේ දොරටුපාලයා ගේ හිස ගසා දමන්න" කියලා අණ කරා ලු. ඔන්න එතකොට තමයි රජතුමා ට දෙලොව රත් වෙලා තියෙන්නේ. ඇත්ත රජතුමා තමන් කියලා කොච්චර කිව්වත් කව්ද ඉතින් ඒවා විශ්වාස කරන්නේ. අන්තිමට සීමාව ඉක්මවා ගියපු සෙල්ලමක් නිසා යසලාලක තිස්ස රජතුමා ට හරිම ශෝචනීය විදියට මැරුම් කන්න සිද්ධ වෙනවා. ඒ ක්‍රි. ව. 60 දී.  ඉන්පස්සේ දොරටුපාලයා ශුභරාජ නමින් අවුරුදු 6 ක් (ක්‍රි. ව. 60 - 66) රජකම් කරනවා. 


හැබැයි ඉතින් කූටප්‍රයෝගයකින් රජවුණු ඔහුට නිදහසේ රජකම් කරන්න නම් ලැබෙන්නේ නැහැ. ඔහු නියම රජතුමා නොවන බව අන් අය දැන ගත් පසුව ඒ ගැන විශාල අප්‍රසාදයක් එල්ල වුනු නිසා ඔහු ජිවත් උනේ බයෙන්. ඒ අතරෙදි "වසභ" නැමැත්තෙක් රජ වෙන බව ශාස්ත්‍රඥයෙක් ප්‍රකාශ කිරීම නිසා රට පීරලා වසභ නම ඇති හැම කෙනෙක්ම මරන්න අණ දුන්නලු. ඒත් එක වසභ කෙනෙක් මේ සංහාරයෙන් බේරිලා තියනවා. ඔහු තමයි රජතුමාගේ සෙන්පතියෙකු ගේ බෑණා කෙනෙක් වූ ලම්භකර්ණ වංශය ට අයත් "වසභ" (ලම්භකර්ණ වංශය ගැන විස්තරයක් කලින් ලිපියේ තියනවා) . ඔහු නැවතිලා ඉඳලා තියෙන්නෙත් සෙන්පතියා ගේ නිවසේමයි. මේ මාමයි බෑණයි අතරත් නොහොඳ කමක් තිබුණා ලු. වසභ ගේ පෙම්වතිය වුනු "මෙත්තා" ඔහුගේ මාමා විසින් බලහත්කාරයෙන් විවාහ කර ගත්තා කියලත් කියනවා. ඉතින් මේ සෙන්පති මාමා කල්පනා කරාලු උපායෙන් බෑණා ව රජතුමා ළඟට ගෙන ගොස්  බාර දෙන්න.


උපාය උනේ මේකයි. වසභ ට රාජ සභාවේ තනතුරක් ලබා දෙන බවට පවසා රැවටීමෙන් ඔහු රජු ළඟට කැඳවා ගෙන යාම. ඉතින් මේ බව වසභ ට කිව්වම ඔහු සතුටට පත් වෙලා රජු හමු වෙන්න කැමති උනා ලු. හැබැයි මාමා ගේ අතින් පොඩි අත් වැරදීමක් වෙනවා. එදා රාත්‍රියේ ඔහු ඒ උපාය ගැන මෙත්තා ට කියනවා. ඉතින් මෙත්තා මොකද කරන්නේ, පහුවදා උදේ සෙන්පතියාගේ බුලත් මඩිස්සලය ට හිතාමතා ම හුණු දාන්න අමතක කරනවා. මේ බව නොදත් සෙන්පති මාමා බෑණා ත් එක්ක පිටත් වෙලා මගක් ගියාම තමයි හුණු නැති බව දැන ගන්නේ. ඒ නිසා ඔහු වසභ නිවසට පිටත් කරනවා හුණු ගේන්න. වසභ ආවට පස්සේ උපාය ඔහුට හෙළි කරන මෙත්තා, ඔහුට පැන යන්න උදව් කරනවා. මේ විදියට නූලෙන් බේරිලා පැන යන වසභ පසු කාලයක සේනා සංවිධානය කරගෙන ඇවිත් ශුභ රජු මරලා රාජ්‍ය ලබා ගන්නවා (ක්‍රි. ව. 66 දී).


මේ වසභ රජතුමා පෙර කලෙක ඔහුගේ පෙම්වතිය වූ, මාමා විසින් විවාහ කරගෙන සිටි, මෙත්තා තමන්ගේ බිසව කරගන්නේ සටනේදී ඔහුගේ මාමාත් මිය යාම නිසා. වසභ රජතුමා වැව්, වෙහෙර විහාර රාශියක් කරවූ ශ්‍රේෂ්ට රජෙක් හැටියට තමයි සැළකෙන්නේ. ඔහු සාර්ථකව අවුරුදු 44 ක් රජ කරනවා (ක්‍රි. ව. 66 - 110).


ඉතින් ඔයාලට පේනවා ඇති මේක සිංහල රාජාවලියේ එක්තරා අපගමනයක් වුනු තැනක් බව. ඒ මොකද කියනවනම් මෙතෙක් කල් පරම්පරාවෙන් පරම්පරාවට රජකම හිමි වුනේ ලේ උරුමයෙන්. ආක්‍රමණ සිද්ධ උනත් ඒවා මැඩලීමෙන් පස්සේ නැවතත් නියම උරුමක්කාරයෙකුට රජකම ලැබුනා. ඒත් මේ දොරටුපාලයාගේ සිද්ධියෙන් පස්සේ රජ උනේ වසභ. ඔහු ලම්භකර්ණ වංශයට අයත් කෙනෙක්.  ඒ නිසා මින් පස්සේ රජ පෙළපත ලම්භකර්ණ වංශිකයින් අතට යනවා. විජය ගේ ඉඳලා පැවතුන රජ පෙළපත මෙතනින් කැඩී යනවා. ඒක සැළකිය යුතු අපගමනයක් කියලයි මට හිතෙන්නේ. 

Monday, February 13, 2012

මගේ ප්‍රථම ආදර හසුන

දයාබර ඔබට,

"ඇයි බන් මට "හා" කියන්න අච්චර කල් ගත්තේ?" තාමත් හිටපු ගමන් ඔයා එහෙම අහනවා.

"කොල්ලොන්ව කොහොමද එක පාරට විශ්වාස කරන්නේ" මාත් ඒ වෙලාවට නෝන්ඩියක් දානවා...

අනේ මන්දා...ඒ දවස්වල යාළුවො නම් ඇහුවේ ආපු යෝජනා වලින් හොඳ එක තෝරනවා නේද? කියලා. ඉටි ගෙඩිය :) එච්චර තෝරන්න 50 ක් 60 ක් හිටිය එකක් යැ. තේරිල්ල කෙසේ වෙතත් එහෙම අහපු ගමන් "හා" කියන්න පුලුවන්ද? තනි අකුරේ වචනයක් උනාට ඒක බොහොම භයානක වචනයක්නෙ. අනික එතකොට මට 19 ලැබුවා විතරයි :-\.

 උත්තරයක්‌ දෙන්න කල් ගියාට අන්තිමේ දී,  අහස පුරාම පියාඹපු කිරිල්ලියෙක් ඇවිත් යෝධ ගහක අත්තක වහනවා වගේ මමත් ඔයාට "හා" කියලා කිව්වේ ආපහු යන්න හිතා ගෙන නම් නෙමෙයි. ගහ ගැන සම්පුර්ණ විශ්වාසය තියලා කූඩුවත් ඒ අත්තෙම හදන්න හිතා ගෙන....

ඉතින් පහුවදාම ඔයා නම් මම ගැන ගෙදරට කියල තිබුණා. හපොයි...ඒත් මම? අපේ පවුල් වල වැඩිමල් ම කෙනා මම. අනිත් ඇච්චෝ බැච්චෝ එකෙක්ටවත් ආදර සම්බන්ධයක් ගැන එක්ස්පිරියන්ස් නැහැ. එහෙව් එකේ මම කොහොමද පොර වගේ ගෙදර ගිහින් ඕක කියන්නේ...අම්මටනම් වටින් ගොඩින් මීටර් වෙන විදියේ කතා ටිකක් මම කිව්වා..හලේ ඒත් තාත්තටනම් කියන්න බෑ :( .ගෙදරට නොකියා එකට බස් එකේ යන්නවත් අකමැති වුනු ඔයා අන්තිමේදී ගෙදරට කියන වැඩේටත් ඉදිරිපත් උනා. ඒ ක්‍රෙඩිට් එක ඇත්තටම යන්න ඕනේ ඔයාගේ අම්මට යි තාත්තට යි. කෙලින්ම අපේ ගෙදර ගිහින් සතුටු සාමීචියක් දාලා  හරිම සරල විදියට වැඩේ කරලා, කැම්පස් එකේ ලයිබ්‍රියේ හිටපු අපි දෙන්නට කෝල් එකකුත් දුන්නා "ඔන්න පුතේ දැන් දෝණි අපේ" කියලා. හැබැයි ඉතින් ඒක එච්චර සරල විදියට ඉවර උනේ කුල, මල, තරාතිරම ඔක්කොම කණාවට වගේ ගැලපුණ හින්දා කියලා මට හිතෙනවා.

ඉතින් කූඩුව හදන්න මම තෝරගතිපු  අත්ත හිතුවටත් වඩා ශක්තිමත් කියලා තේරෙන්න වැඩි දවසක් ගියේ නැහැ. හප්පේ...කිරිල්ලියෙකුට ඊටත් වඩා සතුටක් කොහෙන්ද? අවුරුදු ගානකට පස්සේ ඒ කූඩුවත් හදාගෙන මුතු ඇටේට ගොඩක් දුර අපේම පුංචි ලෝකෙකට ඉගිලිලා ඇවිත් අවුරුදු 2 කටත් වැඩි උනත් මට දැනෙන්නේ තාමත් අද ඊයේ වගේ.

කෙල්ලෙක් ජිවිතේ දෙපාරක් උපදිනවා ලු. මුල් වතාවට ඉපදෙද්දී අම්මා, තාත්තා, නෑදෑයෝ, තාත්තගේ වාසගම, මේ හැමදේම ලැබෙනවා. විවාහයේදී  තවත් අම්මා කෙනෙක්, තාත්තා කෙනෙක්, අලුත් නෑදෑයෝ රොත්තක්, ආදරණීය සැමියෙක් විතරක් නෙවෙයි, අලුත් තාත්තා ගේ වාසගම ත් ලැබෙනවා. ඉතින් කෙල්ලෙක්ගේ දෙවැනි උපත විවාහය කියල කිව්වොත් ඒක හරි. පළමු උපත සිද්ධ වෙන්නේ අපිට ඕන විදියට නෙමෙයි. ඒත් දෙවැනි උපත ගැන හොඳ තීරණයක්‌ ගන්න අපිට බැරි කමක් නැහැ. ඒ අතින් මගේ තීරණය ගැන මට ගොඩක් සතුටුයි. ඒ තීරණය නිසා කවදාවත් මම පසු තැවිලා නැහැ. මගේ ජිවිතේ මම ගත්තු හොඳම තීරණේ ඒක...

දැන් අපේ ආදරේට අවුරුදු 7 ක් ඉවරයි. විවාහයට  අවුරුදු 2 ක් ඉවරයි. තාමත් පොඩි ළමයි දෙන්නෙක් වගේ පිස්සු නට නට හිටියට එතනින් එහාට යන්න දවසක් එයි. සේරම කෝලං දෙන්නා ඉන්නකං විතරයි කියනවනේ. ඒවා ඉතින් එතකොට බලමුකෝ නේද? :)

ඉස්සර ලෝකේ පෙරලුනත් ගානක් නැතුව හිටපු මට අද ඔයා නැතුව එක දවසක් ගෙවා ගන්න අමාරුයි. දවස්‌ කීපෙකට ඔයා කොන්ෆරන්ස් එකකට ගියපු වෙලාවේ පාළුවේ ඉඳලා එපාම වෙලා අන්තිමට "ධීවර බිරිඳ" කවි ටික ලියලා බ්ලොග් එකේ දැම්මා. මම මෙච්චර බොළඳ උනේ කොහොමද කියල නම් තාමත් හිතා ගන්න බැහැ.

සිංහල බ්ලොග් එකක් බදා ගෙන ටෙක් බ්ලොග් එකේ මකුණු දැල් බැඳෙනවා කියලා මුලින් මට සැර දැම්මට දැන් නම් දවස ගානේ සිංහල බ්ලොග් එකේ අලුත් පෝස්ට් එකක් දැම්මද කිය කියා අහන ඔයාට, පෝස්ට් එකේ පබ්ලිෂ් බට්න් එක ඔබපු ගමන්ම

"ඔන්න මම පෝස්ට් එකක් දැම්මෝ" කියලා කියන එක මගේ සිරිතක් උනත් අද නම් මම මේ පෝස්ට් එක දැම්මා කියලා ඔයාට කියන්නේ නැහැ. නැත්නම් ඉතින් පෝස්ට් එක අකුරක් නෑර කියවලා මටත් කලින් ගිහින් කමෙන්ට්ස් වැටිලද බලලා, ඒවත් කියවලා තමයි ඔයා නවතින්නේ. එහෙම කරනවට මම කැමතියි තමයි..

ඒත් මේක ඔයා ඉක්මනටම දකියි :) ඊට පස්සේ...
"හොර පූසි, මට කිව්වේ නෑ නේද?" කියලා අහගන්න වෙන ලස්සන බැනුමට මම ඊට වඩා කැමතියි.

මේ අවුරුදු දෙක පුරාවට ම අම්මා තාත්තා ළඟ නැති අඩුව මට නොදැනුනේ ඔයා නිසා. තාත්තගේ විතරක් නෙමෙයි අම්මගේ ආදරෙත් දෙන්න ඔයාට පුළුවන්. ඔයා දන්නවද මම හරිම කැමතියි ලෙඩ වෙන්න :)   එක අතකින් ලැපේ ටයිප් කරන ගමන් අනිත් අතින්, මට නින්ද යනකන් ඔලුව අතගාන ඔයාගේ ආදරේ විඳින්න. ඉතින් හෙම්බිරිස්සා දාහක් හැදුනත් මොකද?

පොඩ්ඩ ඇත්තන් තද වෙන මම වගේ නෙමෙයි, හරිම කලාතුරකින් තරහ යන ඔයා වචනයක් කිව්වොත් ඒක මට දරා ගන්න අමාරු, ඔයාගේ එක වචනයක් මගේ වචන දාහකටත් වඩා  බර නිසා වෙන්න ඇති. මම වැටුණු හැම වෙලාවකම නැගිට්ටපු, මගේ හිත හදපු, ඕනම ප්‍රශ්නෙකදී මගේ ලඟින් ඉඳපු, කවදාවත් නොහිතපු තරමේ ආදරයක් මට දීපු ඔයා ට, ඒවායින් දහයෙන් එකක් වත් මම දීල තියද කියලා මම දන්නේ නැහැ.

සංසාරේ හැමදාම මගේම වෙන්න කියලා ඔයාගෙන් ඉල්ලන්න මට අයිතියක් නැහැ. ඒත් මම නම් හැමදාට ම ඔයාගෙමයි.
හෝව් හෝව්...කොල්ලොන් ගේ ඇස් වල කඳුළු පිරෙනවා දකින්න මම පොඩ්ඩක්වත් කැමති නැහැ...

මෙයට,
ඔයාගේ
සුවිට් වයිෆ්



ප. ලි. හිතේ තියන දේවල් කියනවට වඩා ලියන එක ලේසි හින්දාත්, අපි කවදාවත් වැලන්ටයින් සමරලා නැති හින්දාත් මේ පාර වැලන්ටයින් එකට තෑග්ගක් විදියට ඔයාට මේක දෙන්න හිතුවා. මගේ ඇත්ත නමින් බ්ලොග් නොලියන එක හොඳයි නේද? නැත්නම් මේ වගේ එකක් බ්ලොග් එකේ දාලා කොහොම වසන්නද අපි :D

ප. ප. ලි. මේක ලියන්න ගිහින් තමයි අද හොඳටම පරක්කු උනේ..ඔයා හිතුවේ මට වැඩ හිර වෙලා කියලා නේ...හිකි හිකි...

                                                         ~~~~~~~~~~~~~~~~~~
මගේ යාළුවො හැම දෙනාටම සුබ වැලන්ටයින් දිනයක් වේවා...ජිවිතේ හැම දවසක්ම වැලන්ටයින් දිනයක් බවට පත් වේවා. අනාගත බලාපොරොත්තු සඵල වේවා...හැමෝගෙම ජිවිත ආදරෙන් පිරේවා..යයි මුළු හදින්ම පතමි...

Saturday, February 11, 2012

ලව් ලෙටර්


ඉහත සඳහන් මාත්රුකාව හැමෝටම හුරු පුරුදු එකක් යයි සිතමි. ඒ ගැන ලියවුනු හරිම රසවත් ලිපි කීපයක් ම පහුගිය දවස් වල කියවන්න ලැබුනා.

මම හිතන විදියට විසි එක් වෙනි සියවසට පෙර පෙම්වතුන්ගේ ප්‍රධාන සන්නිවේදන මාධ්‍ය උනේ මේ ලව් ලෙටර් නොහොත් සෙනෙහෙ කොළ :) දැන් භාවිතයේ නැති උනත් ඉස්සරනම් මේවා හරි හරියට පාවිච්චි කරලා තියනවා. වෙන එකක් තියා කැළණි තිස්ස රජතුමාගේ මල්ලි රජ බිසවට සෙනෙහෙ කොලයක් යවන්න ගිහින් තමයි අහක හිටපු රහතන් වහන්සේ කෙනෙකුගේ ජිවිතයක් අපරාදේ නැති උනේ. ඊට පස්සේ මුහුද ගොඩ ගැලුවෙත් රහතන් වහන්සේ මරපු පවට කියලා කියනවනේ. ඔන්න ඉතින් ලව් ලෙටර් එකක් කරපු හරියක්.

අපි සාමාන්‍ය පෙළ පන්ති වල ඉඳපු කාලේ (ඒ කියන්නේ වසර 2000 දී විතර) අපේ පන්තියේ යාළුවො දෙන්නෙක්ට ආදර සම්බන්ධතා දෙකක් තිබුනා.  එක්කෙනෙක් පියරු බබා. අනිත් එක්කෙනා වාස්.  කිව්වට විශ්වාස කරන්න සාමාන්‍ය පෙළ කාලේ ළමයි 50 ක් ඉඳපු පන්තියෙන් දෙන්නටයි එහෙම දේවල් තිබුනේ. ඒ ඉතින් මීට අවු. 12 කට කලින් නේ. දැන් නම් ඉතින් මේකේ අනිත් පැත්ත වෙන්න ඕන.

ඉතින් මේ දෙන්නත් ඔය ලව් ලෙටර් හුවමාරුව හැමදාම වගේ කරා. ඒවා ගෙදරට අහු නොවෙන විදියට තියා ගන්න පුදුම ගේමක් තමයි දුන්නේ. ඔය අස්සේ පියරු බබා ට ෂෝක් වැඩක් වෙලා. මෙයා දවසක් ගෙදර ඇඳට වෙලා බොරුවට පොතක් බලන විදියට ආදරවන්තයා ගෙන් ලැබුණු ලෙටර් එකක් බල බල ඉඳලා. ඉතින් ඒක බල බල සිහින ලෝකේ අතරමං වෙලා ඉඳිද්දී මෙයා ට නින්ද ගිහින් ලු. නින්ද ට සේරම යටයි කියනවනේ. අම්මා එයාව හොයාගෙන කාමරේට එනකොට මෙයා ලියුමත් බඩ උඩ තියාගෙන නිදිලු. අපොයි ඉතින් වෙච්ච දේ අමුතුවෙන් කියන්න ඕන නැහැ නේ. ඔන්න ඔහොමයි පියරු බබා මැණිකක් වගේ ආරක්ෂා කරගත්තු ප්‍රේමය ගෙදරට අහු උනේ. ගෙදරින් ඒකට තදින්ම විරුද්ධ උනත් ඒක එයා කොහොම කොහොම හරි ඉස්කෝලෙන් අස් වෙනකන්ම කරගෙන ගියා වගේ තමයි මට මතක. ඊට පස්සෙනම් මොනවා උනාද දන්නේ නැහැ.

පියරු බබා ට වෙච්ච වැඩෙන් පස්සේ වාස් නම් ලව් ලෙටර් සම්බන්ධයෙන් හොඳටම පරෙස්සම් උනා. ආදරේ දෙවැනි තැනට දාලා නින්දට පළවෙනි තැන දුන්නේ නැහැ. එයාගේ ආදරේනම් බොහොම සාර්ථක විදියට පහු ගිය දවස්වල විවාහයෙන් කෙලවර උනා. (ආදරේ කෙළවර උනා කිව්වේ දැන් ආදරේ නෑ කියන එක නෙමෙයි :)

දවසක් අපේ පොඩි මලයට ලව් ලෙටර් එකක් හම්බ උනා තැපෑලෙන් ගෙදරටම. ඌ එතකොට 8 වසරේ. ඒ දවස්වල තමයි එයා ගමේ ඉස්කෝලෙක ඉඳලා ලොකු ඉස්කෝලෙකට මාරු උනේ. ඉතින් මෙයාගේ නමට ලියුමක් එන එක ටිකක් සැක කටයුතු දෙයක් නිසා අම්මයි මායි එකතු වෙලා ඒක කඩලා බැලුවා. මල් හතයි..ගමේ ඉස්කෝලේ කෙල්ලෙක් මෙයාට ලියුමක් එවලා. මේ තියෙන්නේ ඒකෙ සාරාංශයක් (මට මතක විදියට)

"--- වෙත,
ඔයා ඉස්කෝලෙන් අස් වෙලා ගියාට පස්සේ මම ඉන්නේ හරිම දුකෙන්. දැන් අපිට හමු වෙන්න විදියකුත් නැහැ. ඒකයි ලියුමක්වත් එවන්න හිතුවේ. ඔයාගේ කළු පාට ඇස් දෙක මට තාම මතකයි. ඔයාගේ කටහඬ හරිම කන්කළුයි. ඒක අහන්න නැතුව මට හරි පාළුයි. ඒත් ඔයා වගේ දක්ස ළමයෙක් ලොකු ඉස්කෝලෙට ගියපු එක හොඳයි. ඊ ටී සී...ඊ ටී සී...."

කෙල්ල මෙයාට ෆුල් වර්ණනාවක් දීලා. ඒ වර්ණනා ටික දැක්කම අපිට හිතුනා මේක කීයටවත් කෙල්ලෙක් ලියපු එකක් වෙන්න බැරි බව. අපි ඉතින් මේක තාත්තටත් පෙන්නලා අන්තිමට මල්ලි ටත් පෙන්නුවා. දැන් මුගේ හිතේ  ඒක ඇත්තටම කෙල්ලෙක් එව්වා කියලා. එයාටනම් කෙල්ලෙක් හිටියේ නැති බව දහ අතේ දිව්රලා, හැබැයි එයා නොදැනුවත්ව එයාට කැමති කෙල්ලෙක් ඉන්න බැරි කමකුත් නැහැ කියලා කිව්වා. දැන් ඉතින් පොර මේ වර්ණනා ටික දැකලා උදම් වෙලා තමයි ඉන්නේ.

තාත්තා :  මේ වැට හිටෙව්වා වගේ ලියපු අකුරු වල හැටියට නම් මේක කෙල්ලෙක් ලිව්වා වෙන්න බැහැ
මල්ලි :  ඒ මොකද බැරි? අපේ අක්කගේ අකුරුත් ඔය වගේ නේ..
මම :  ගර්ර්
අම්මා :  අනිත් එක, මේ කරලා තියන වර්ණනා වල හැටියට මොළේ ඇති කෙල්ලෙක් නම් නෙමෙයි මේක ලියල තියෙන්නේ
මල්ලි :  ගර්ර්

අන්තිමට එයාගේ යාළුවො ටික පාපොච්චාරණය කරලා තිබුනා ඒ ලියුම එව්වේ එයාලා කියලා..පව් අපේ එකා. හැබැයි එයාලා හිතලා තියෙන්නේ එහෙම ලියුමක් එව්වම ගෙදරින් මලයට සබ්බුව හම්බ වෙයි කියලා. අන්තිමට උනේ වෙන එකක් :)) මේ ජාතියේ ලියුම් ඉතින් ලව් ලෙටර් නෙමෙයි නේ..එව්වා ෆේක් ලව් ලෙටර්.

අපේ කාලෙදි නම් ආදරේ ප්‍රකාශ කරන්න ලව් ලෙටර් භාවිතා උනේම නැති තරම්. අපිට තිබුනේ එස් එම් එස් පිහිට තමයි. ඒත් ඉතින් මටත් එකම එක වතාවක් ලව් ලෙටර් එකක් හම්බ වෙලා තියනවා. මගේ මෝඩ කමට මම ඒක බලන්නෙ නැතුවම එපා කිව්වනේ. අපරාදේ මට තිබුනේ ඒක බලල ඉවර වෙලා ආපහු දෙන්න. සික්..

                                                       ~~~~~~~~~~~~~~~~~~~~~

ප. ලි... මේ තියෙන්නේ එල කොල්ලා එවපු, දඹානේ ලව් ලෙටර් එකක්. ස්තුතියි එල කොල්ලා...

Monday, February 6, 2012

සිංහවල්ලි නොහොත් සීවලී රැජිණ - රාජාවලිය XI

ගිය වර රාජාවලිය ලිපියෙදි ගැමියා මල්ලි කරපු ඉල්ලීමට අනුව ඔන්න මෙතෙක් දක්වා ලියපු රාජාවලිය ලිපි වලට සබැඳි ලබා දෙන්නම් (කැමති කෙනෙක් ඉන්නවනම් "රාජාවලිය" කියන ලේබල් එකට ගියත් ඔක්කොම බලාගත හැකි:).

සිංහලේ මුල සොයා - රාජාවලිය I
සුනාමියෙන් සේදී ගිය රාවණ රාජධාණිය - රාජාවලිය II
විජයාවතරණය හෙවත් කිරි මුට්ටියට මුහුම් දැමීම - රාජාවලිය III
සිංහලය ම සමගි කළ රාජ අභිෂේකය - රාජාවලිය IV
තමේව අනුකම්පාය - රාජාවලිය V
ගොළු මුහුද සහ හැඩි දෙමළු - රාජාවලිය VI
මා චණ්ඩාලියකී - රාජාවලිය VII
මහා කළු සිංහලයා - රාජාවලිය VIII
සිංහලේ පළමු රැජිණ - රාජාවලිය IX
දැහැමි රජවරු සහ ක්‍රිස්තු වර්ෂ මාරුව - රාජාවලිය X

                                   ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~



ඉතින් අපි පහුගිය ලිපිය අවසාන කළේ කනිරජානුතිස්ස විසින් ආමන්ඩගාමිණී රජතුමා මරලා රජකම පැහැර ගත්තට පස්සේ ආමන්ඩගාමිණී රජුගේ බිසවයි, දුවයි (සින්හවල්ලි), පුතයි (චූලාභය) තිවක්ක ග්‍රාමයට පලා ගියපු බව කියලා.

කනිරජානුතිස්ස රජතුමා ගේ කාලයේදී මිහින්තලේ භික්ෂූන් ගේ විනය සම්බන්ධ ගැටළුවක් නිසා රජුට විරුද්ධ වුනු හාමුදුරුවරු හැට නමක් රජු විසින් මරලා දැම්මාලු.  ඒක තනිකරම රජතුමා ගේ වැරැද්දක් හැටියට සඳහන් වෙලා තියනවනම් මම දැක්කේ නැහැ. කොහොම උනත් මේ රජතුමාට රජ කරන්න ලැබුනේ අවුරුදු 3 යි (ක්‍රි. ව. 30 -33). ඔහුගේ ඇවෑමෙන් පස්සේ තමන්ගේ උරුමය හොයාගෙන චූලාභය ඇතුළු පිරිස නැවත පැමිණෙනවා.

චූලාභය රජතුමා රජ වී අවුරුදු දෙකක් අවසානයේ  (ක්‍රි. ව. 33 - 35)  මිය යන නිසා ඉන් පසුව අභිෂේක ලබන්නේ  ඔහුගේ සොහොයුරිය වන සිංහවල්ලි. ඇය තමයි සිංහලේ දෙවන රැජිණ හැටියට හැඳින්වෙන්නේ. සීවලී රැජිණ කියලා හඳුන්වන්නේත් ඇයම තමයි. ඉතින් මේ සීවලී රැජිණ විවාහ වෙලා හිටියේ ඇගේ මස්සිනා වන (ආමන්ඩගාමිණී රජුගේ නැගණිය ගේ පුතා) "ඉළනාග" සමග. සීවලී රැජිණ අභිෂේක ලබා මාස 4 ක් ගත වෙද්දී ඉළනාග ඇගෙන් රජකම උදුරා ගත්තාලු (ඇය කැමැත්තෙන්ම රජකම දුන්නද කියල නම් අපි දන්නේ නැහැ. සමහරවිට එහෙම වෙන්නත් ඇති. කවදාහරි දවසක මේවා පොඩි කුමාරිහාමි වගේ කෙනෙක් අතින් සාහිත්‍ය කතා විදියට ලියවෙනවානම් මම කැමතියි :).

ඉතින් ඔය විදියට රජකම ලබා ගත්තු ඉළනාග රජතුමා පොඩි පහේ මෝඩ වැඩකුත් කරගන්නවා. දවසක් එතුමා ගියාලු තිස්ස වැව ළඟ පැවැත්වුණු උත්සවයකට. එතනදී "ලම්භකර්ණ" වංශිකයින් රජතුමාව ගණන් නොගෙන ආපහු හැරිලා නගරය ට ගියාලු. මෙතැනදී ලම්භකර්ණ වංශිකයින් ගැනත් පොඩ්ඩක් කිව්වොත් හොඳයි කියල හිතෙනවා. මොවුන් කොහොමත් මාන්නාධික පිරිසක්. ඔවුන් පැවතෙන්නේ සංඝමිත්තා තෙරණියගේ ආගමනයත් එක්ක දඹ දිවින් පැමිණි "සුමිත්ත" කුමරා සහ "සුමනා" කුමරිය ගෙන් ලු. ඔවුන් ධර්මාශෝක රජ්ජුරුවන් ගේ නෑයින් වන අතර දෙදෙනාම එක හා සමානව මව් පිය දෙපාර්ශවයෙන් ම නුවණින්, රුවින්, තේජසින් සමන්විත උන නිසා මේ දෙදෙනාගෙන් ඇරඹුන පරපුර ට "ලැමිණි" කියා කිව්වාලු. එය පසුව ලම්බකර්ණ වෙලා තියනවා. "ලම්බකර්ණ" යන්නෙහි තේරුම "දිගු කන් ඇති" යන්න නිසා ඔවුන්ගේ කන් වල ස්වභාවය අනුව මේ නම වැටුනා වෙන්නත් පුළුවන්. කොහොම නමුත් මේ වන්ශාධික තත්වය නිසා ඔවුන් හිටියේ අධික මාන්නයකින්.

ඉතින් තමන්ට කරපු නොසළකා හැරීම ගැන කිපුණු රජතුමා මේ මාන්නය නැති වෙන්න ඔවුන්ට පාඩමක් උගන්වන්න හිතුවලු. මහා සෑය ට යෑම සඳහා  පාරක් තැනීමට ඔවුන්ට භාර දීලා ඒකෙ වැඩ බලන්න චණ්ඩාල කුලයේ අයට නියම කරා ලු. මේක ඉතින් ලොකු අපහාසයක් බව අමුතුවෙන් කියන්න ඕන නැහැ නේ. ඒ නිසා ලම්බකර්ණිකයින් මොකද කළේ රජතුමාට විරුද්ධව කැරලි ගහලා ඔහු අල්ලාගෙන රජ මාළිගය ඇතුලෙම සිර කරපු එක. මෙහෙම ඉඳිද්දී සිංහවල්ලි දේවිය මොළේ ඇති වැඩක් කරලා තියනවා. ඔවුන්ගේ බිලිඳු පුතා "චන්ද්‍රමුඛසිව" රැගෙන ගොස් මගුල් ඇතු පාමුළ තබා රජු සිරකර ඇති බවත්, එලෙස ජිවත් වනවාට වඩා මැරෙන එක සැපක් බවත් පවසා බිලිඳා ව පාගා මරන ලෙස ඉල්ලුවාලු. එයින් කම්පා වුනු ඇතා මාලිගයේ දොරටු කඩා රජතුමා පිටේ හිඳුවා ගෙන එතනින් පළා ගියා ලු. මේ සිද්ධිය වෙන්නේ රජතුමා රජ වුනු අවුරුද්දේ මයි (ක්‍රි. ව. 35).

මේ විදිහට පළා ගියපු රජතුමා චෝල රජුගේ රැකවරණය පතා නැව් නැගලා චෝල දේශය ට ගියාලු. අපේ රජ කෙනෙක් පර දේශයක රැකවරණය පැතූ මුල් අවස්ථාව ලෙස තමයි මෙය සඳහන් වෙන්නේ. අවුරුදු 3 ක් (ක්‍රි. ව. 38 තෙක්) එහි සිටින ඉළනාග, චෝල රජුගේත් උදව් ඇතිව සේනා සංවිධානය කර නැවත පැමිණ ලම්භකර්ණිකයින් හා සටන් කොට රාජ්‍යය නැවත ලබා ගන්නවා. ඒ අවුරුදු 3 ඇතුළත ලක්දිව පාලනය කර තිබෙන්නේ ලම්බකර්ණ වංශිකයින්. ඔවුන් සමූහාන්ඩුවක් ලෙස එය කළ බවට තමයි විශ්වාස කරන්නේ. එහෙම නම් ලංකාවේ පැවති එකම සමූහාන්ඩුව ත් එය විය හැකියි.

ඉතින් නැවත රජකම ලබා ගත් ඉළනාග රජතුමා තවත් අවුරුදු 6 ක් (ක්‍රි. ව. 38 - 44) ලංකාවේ රජකම් කරනවා. ලම්භකර්ණිකයින්ට දරුණු වධ හිංසා පමුණුවන්න රජතුමා ලෑස්ති වෙද්දී එතුමා ගේ මෑණියන් මැදිහත් වෙලා එය සමනය කළ බවත් සඳහන් වෙනවා.

මී ළඟ රාජාවලිය ලිපියෙන් සෙල්ලම ලෙල්ලම කරගත් රජ කෙනෙක් ගැන කතා කරමු.

Friday, February 3, 2012

හමන සුළං සුවඳ නොවෙද නිතින් මෙබිම යාළුවේ




"ඇයි අපිට නිදහස මේ තරම් වටින්නේ?"

කූඩුවක දාලා ඉන්න කුරුළු පැටියෙක් ගෙන් ඔය ප්‍රශ්නේ ඇහුවොත් හරියටම උත්තරයක්‌ දෙයි. ටික කාලෙකට කලින් අපිත් අපේ මුතුන් මිත්තෝ ත් මේ විදියට කූඩු වල දාපු කුරුල්ලෝ වගේ ජිවත් උනා. කොහෙවත් ඉන්න පරදේසක්කාරයෝ රංචුවකට ඔළුව නවා ගෙන ඉන්න උනා සෑහෙන කාලයක්. ඒක සිද්ධ උනේ 1815 දි නෙමෙයි, 1505 දී.

අපි 1948 දී නිදහස ලබා ගත්තේ ඉංග්‍රීසින් ගෙන් බව ඇත්තයි. ඉංග්‍රීසින් අපේ මුළු දිවයින ම යටත් කර ගත්තේ 1815 දී බවත් ඇත්තයි. ඒත් අපිට පරදේසක්කාරයින් ට යටත් වෙන්න සිද්ධ උනේ  ඊටත් ගොඩක් කලින්. ඒ, 1505 දී පෘතුගීසින් ගේ පැමිණීමත් එක්ක. රටේ ස්වාධීනත්වය අපිට මුලින්ම අහිමි උනේ ඒ වෙලාවේ. ඉන් පස්සේ ලන්දේසි කාරයෝ ඇවිත් 1660 දී පෘතුගීසි පාලන ප්‍රදේශ වල බලය අතට ගත්තම අපේ අයට සිද්ධ උනා පෘතුගීසින් වෙනුවට ලන්දේසින් යටතේ ජිවත් වෙන්න. දිවියා මොකද කොටියා මොකද දෙන්නම කරන්නේ මිනී කන එකනම්?

ඉතින් 1802 දී තවත් මේ වගේ පුල්ලි මාරු වීමක් වෙනවා. ඒ ඉංග්‍රීසින් ගේ පැමිණීම නිසා. ඒත් ඒ වතාවේදී උන් පුල්ලි මාරු කරලා විතරක් නිකන් හිටියේ නැහැ. 1815 වෙද්දී මුළු දිවයිනේ ම බලය උන් අතට ගත්තා. අවසාන නිදහස් රාජ්‍යය උන උඩරට රාජ්‍යය ත් සිංහලයා ට නැති උනා. ඉන් පස්සේ 1948 වෙනකන්ම අපේ අයට සිද්ධ උනා ඉංග්‍රීසින්ට යටත් වෙලා ඉන්න.

ඉතින් 1948 පෙබරවාරි 4 වෙනි දා අපි ලබා ගත්ත නිදහස "අවුරුදු 450" ක වහල් බවින් මිදීමක් හැටියටයි මම දකින්නේ. එනිසා ඒ දවස නිසැකවම සැමරිය යුතු වැදගත් දවසක්.

                                        "The formal ceremony marking the start of self rule, with the opening of the first parliament at Independence Square by the HRH Prince Henry, Duke of Gloucester in the presence of Rt Hon D.S. Senanayake as first Prime Minister of Ceylon."

 එදා ඉඳන් හැම වසරක් පාසාම අපේ අය මේ සොඳුරු දිනය සැමරුවා. හැබැයි තවත් අවුරුදු 30 කට විතර පස්සේ අපට සමරන්න උනේ සැබෑ නිදහස් උත්සව නෙමෙයි. ඒ, අපේ මව්බිමේ ස්වාධීනත්වයට තවත් තර්ජනයක් එල්ල වෙමින් තිබුණ නිසා.  ඒ වතාවෙදි නම් තර්ජනේ එල්ල උනේ යුරෝපේ පැත්තෙන් නෙමෙයි. තමිල්නාඩුවට නෑ කම් කියපු අපේ ම මිනිස්සු කොටසක ගෙන්. හරියට ඈත අතීතෙදි උනා වගේ. ඒ කාලෙත් අපිට ඔය පැත්තෙන් කොයි තරම් කරදර ආවද? මේ පාර වෙනසකට තිබුනේ උතුරුකරේ හිටපු අපේම මිනිස්සු ටිකක් ඒකට අතකොළුවක් හැටියට යොදා ගත්තු එක විතරයි.

ඉතින් 80 දශකයේ මැද භාගයේ ඉපදුනු අපි කවදාවත් සැබෑ නිදහස් උත්සවයක් සමරලා තිබුනේ නැහැ. අපි ඉපදෙද්දී රටේ නිදහස ආපහු විනාස වෙලා. උදේ ගෙදරින් එලියට බහින කෙනා රෑ ට ගෙදර එයි ද කියලා විශ්වාසයක් නොතිබුණු කාලයක් තිබුණා. නිරපරාදේ අහිංසක ජිවිත නැති උනා. රටේ ඊලාම් යුද්ධයක් තියනවා කියලා මට මුලින්ම කියලා දුන්නේ ලොකු අම්මා. දුටු ගැමුණු රජ්ජුරුවෝ රට එක්සේසත් කරපු කතාව මට කියලා දීලා අන්තිමට මෙන්න මෙහෙම කතාවකුත් කිව්වා..

"ඒ කාලේ එහෙම තිබුණු රට තමයි පුතේ දැන් මේ ආපහු හොද්ද වෙලා තියෙන්නේ". ඔය කතාව අහලා දුටු ගැමුණු රජ්ජුරුවෝ හින්දා උඩ ගිහින් ඉඳපු මගෙත් හුලං බැස්සා. ඉතින් මම අහගත්තා මොකක්ද මේ ඊලාම් යුද්ධේ කියන්නේ කියලා. එදා මට දුක හිතුනේ පොඩ්ඩක් එහෙම නෙමෙයි. මට හොඳට මතකයි එක නිදහස්  උත්සව දවසක අතුලගේ මේ සින්දුව රේඩියෝවේ විකාශය උනා..

සොඳුරු සිරින් මවුබිම මගෙ හද සරසා හාද වේ  
හද යදමින් මුදව් සබඳ වැටකොටු නැති මානයේ 
පවුරු බිඳන් රංචු ගැසෙව් සේසත යට සීරුවේ 
හමන සුළං සුවඳ නොවෙද නිතින් මෙබිම යාළුවේ

ඒක අහද්දී පුදුම ජාතිකාභිමානයක් හිතට දැනුනත් එවෙලේම හිතුනා මේ සින්දුව හිතට එකඟව කියන්න අපිට නිදහසක් නෑ නේද කියලා.

ඔය අතරෙදි තමයි නැවතත් බලාපොරොත්තුවේ පහන් එලි දැල්වෙන්න පටන් ගත්තේ. හිඟන්නාගේ තුවාලයක් වෙලා තිබුණු යුද්ධය නිම වෙන ලකුණු. ඒත් ඒක ලේසි වැඩක් නම් උනේ නැහැ. ඒ කාලය ඇතුලත නැතිවුන ජිවිත ගණන, හානි උන දේපළ, සේරටමත් වඩා මිනිස්සුන්ගේ හිතේ තිබුණ මරණ බය කොයි තරම්ද කියලා හිතා ගන්නත් අමාරුයි.  සිහින සොහොයුරා ලියන "මතක මංපෙත" ඒ තීරණාත්මක අවධිය ගැන මතක් කරගන්න හොඳ තෝතැන්නක්.


යුද්ධේ අවසාන මාසෙදි විතර අපේ ඔෆිස් එකෙත් වෙන වැඩක් කෙරුනේ නැති තරම්. හමුදාව ඉස්සරහට යන අඟලක් ගානේ අපිත් හිතින් ඒ පස්සෙන් ගියා. විනාඩියෙන් විනාඩියට ඩිෆෙන්ස් සයිට් එක රිෆ්‍රෙශ් කරා.
"කිලිනොච්චි අල්ලලා"
"පුනරීන් අල්ලලා"
මේ විදියේ සුභ ආරංචි මුලින්ම දැකපු කෙනා කෑ ගහලා කාටත් කිව්වම හැමෝම උඩ පැනලා ඔල්වරසන් දුන්නා. අසුභ ආරංචියක් ආවම එකා වගේ දුක් වුනා. ඒ අවසාන සටන වෙනුවෙන් අපිට කරන්න පුළුවන් උනේ එකම එක දෙයයි. අන්තර්ජාලයේ හැම අහු මුල්ලකම අපේ මව්බිම ට පහර ගහන්න කරන දේවල් ව්‍යවර්ථ කරන්න උත්සාහ කිරීමත් ගිනි අවිය අතින් අරගෙන ඉස්සරහට යන අපේ එවුන්ට හිතින් ආශීර්වාද කිරීමත් විතරයි. ඒත් ඒ දේ අපි එක හිතින් කළා.

අන්තිමේදී...2009 මැයි 17 වෙනිදා...ඔව්, ඒ ආරංචිය අපිට ලැබුණා. අවුරුදු ගානක් අහන්න පෙරුම් පුරපු ආරංචිය. "වේලුපිල්ලේ ප්‍රභාකරන් ගේ මරණය". මිනිස්සු හැමෝම පාරට බැහැලා ජාතික ධජ උස්සගෙන සතුට උතුරන මූණු වලින් ප්‍රීති ඝෝෂා කරපු හැටි අපි දැක්කා. දශක 3 ක් තිස්සේ සිංහල, දෙමළ කාටත් වධ දීපු ත්‍රස්තවාදය පැරදවීමේ සතුට එදා හැමෝම අත් වින්දා.


එදා "දුටුගැමුණු, වේළුසුමන, නන්දිමිත්‍ර, සුරනිමල..." යන නාමයන් අද අපේ හිත්වල නිධන් වෙලා තියනවා වගේ වර්තමානයේ "රාජපක්‍ෂ, ෆොන්සේකා, ශවේන්ද්‍ර, ජගත්..." වැනි නාමයන්  අපේ අනාගත පරපුරේ හිත්වල පැළපදියම් වේවි. (මේකට දේශපාලන මඩ ගොහොරුව ඈඳ ගන්න එපා කියලා මම ඉල්ලනවා. ගසා කෑම්, අභ්‍යන්තර ගැටුම්, පාවා දීම්..මේ හැම දෙයක්ම එදත් තිබුණා, අදත් තියනවා, ඉස්සරහටත් තියේවි. ඒත් අන්තිමේදී ලක් ඉතිහාස පොත ට එකතු වෙන්නේ දියෙන් වෙන් කරගත් කිරි විතරයි. අපේ අනාගත පරම්පරාව උන්ගේ මුණුපුරු මිණිපිරියන් ට කියලා දේවි රාජපක්‍ෂ, ෆොන්සේකා සහ ප්‍රභාකරන් ගේ කතාව..)

ඉතින් දැන් අපිට නිදහසේ නිදහස් උත්සවය සමරන්න පුළුවන් නේද? මේ 64 වෙනි නිදහස් උත්සවය දවසේදී යුරෝපියයන්ගෙන් රට බේරා ගන්න කැප වුනු, වෙල්ලස්සේ කැරැල්ල, මාතලේ කැරැල්ල සඳහා උර දුන් අය  විතරක් නෙමෙයි ඊලාම් යුද්ධය නිසා දිවි පිදූ සියළුම දෙනාත්, 797 කැරැල්ල ඉන් එහාට මුල්ලේරියා සටන, විජය බා වළගම්බා සටන්, දුටුගැමුණු - එළාර යුද්ධය, මේ හැම අවස්ථාවකදීම මව්බිම වෙනුවෙන් දිවි පිදූ අපේ විරුවන්ට අපේ ගෞරවය පුද කරමු.

දැන් අපිට නිදහසේ මේ සිංදුව අහන්න ත් පුළුවන් නේද?

හමන සුළං සුවඳ නොවෙද නිතින් මෙබිම යාළුවේ

...
Related Posts Plugin for WordPress, Blogger...