Monday, February 11, 2013

ඔබ සතුටින්ද ?

"ඔබ සතුටින්ද?" කියන ප්‍රශ්නේ කවුරුහරි ඔබෙන් ඇහුවොත් දෙන පිළිතුර මොන වගේ එකක් වේවිද? ඒකට පිළිතුරක් දෙන්න කලින් තවත් ප්‍රශ්නයක් ඔබේ හිතට ඒවි.

"සතුට කියන්නේ මොකක්ද?"



කෙනෙක්ගේ සතුටින් සිටීමේ හැකියාව කියන එක තීරණය වෙනවා කාරණා 3 ක් මත.

* 50% ජාන මගින්. සර්වසම නිවුන් දරුවන් යොදාගෙන කළ පරීක්ෂණ වලින් මේ බව ඔප්පු වී තිබෙනවා. ඒ නිසා යමෙක් උපදින විටම ඔහුට කොයි තරම් සතුටින් සිටීමේ හැකියාවක් ඇත්ද යන්න 50% කින් තීරණය වී අවසානයි.
* 10% මුදල්, පහසුකම්, සමාජ තරාතිරම ආදිය. මේ දේවල් සතුටට බලපාන්නේ කොයි තරම් සුළුවෙන්ද යන්න පැහැදිලියි නේද?
* 40% තමන් එදිනෙදා ජීවිතයේදී කිරීම සඳහා තෝරා ගන්නා දේවල්. මේ කොටස ගැන තමයි අප සැළකිලිමත් විය යුත්තේ. සතුට සොයා යාමට අපට කළ හැක්කේ මොනවාද?

අපිට සතුටක් කියා දෙයක් දැනෙනවානම් ඒ සඳහා හේතු වෙන්නේ මොළයේ ඇති "ඩොර්පොමින්" නම් රසායන ද්‍රව්‍යයයි. ස්නායු දිගේ පැමිණෙන විද්‍යුත් සංඥා තවත් ස්නායුවක් හා සම්බන්ධ වන සන්ධිස්ථානයක ගැටීමේදී මේ රසායන ද්‍රව්‍ය වහනය වී අනෙක් ස්නායුවට ප්‍රවාහනය වෙනවා. මේ සංසිද්ධිය හඳුන්වන්නේ "නියුරෝට්‍රාන්ස්මිට්" නමින්.

වැදගත්ම කාරණේ තමයි මේ ඩොර්පොමින් දිගු කලක් තිස්සේ භාවිතයට නොගැනීම නිසා අක්‍රිය වෙලාම යන්නත් ඉඩ තියනවා. ඩොර්පොමින් වල නිසි ක්‍රියාකාරිත්වය සඳහා උත්තේජනය වීමක් අවශ්‍යයි. ඒ නිසා ඉඳල හිටලවත් සතුටු වෙන යමක් නොකළොත් පහු කාලීනව අප්සෙට් මූඩ් එකේම හිර වෙන්න ඉඩ තියනවා. ඒ වගේමයි ක්‍රීඩා කිරීම, කඳු නැගීම, සර්ෆින් වැනි ශාරීරික අභ්‍යාස කිරීම නිසා මේ රසායන ද්‍රව්‍යයේ ක්‍රියාකාරිත්වය වර්ධනය වීමක් වෙනවලු.

සතුට සඳහා ධනවත් කමේ බලපෑම කොයි තරම් කියලද ඔබ හිතන්නේ. ඇත්තම කිව්වොත් බලපෑමක් නැති තරම්. මිනිසෙකුගේ මූලික අවශ්‍යතා සම්පූර්ණ උනාට පස්සේ වැඩිපුර ධනය ලැබුණා කියලා සතුටේ වැඩි වීමක් දකින්න නැහැ. පහළින් තියෙන්නේ ඇමරිකාවේ ධනවත් කමත්, මිනිසෙකුගේ මධ්‍යනය සතුටත් කාලයත් සමග ප්‍රස්ථාරගත කරලා තියන හැටි. පේනවා නේද ආදායම වැඩි උනා කියලා සතුටේ වැඩි වීමක් වෙලා නැහැ.



ඉන්දියාවේ මුඩුක්කුවක ජීවත් වෙන රික්ෂෝ කරුවෙකුගේ සතුට සාමාන්‍ය ඇමරිකානුවෙකුගේ තරම්ම වන බව ඇසුවොත් ඔබ පුදුම වෙන එකක් නැහැ.

රික්ෂෝ කරු ඔහුගේ ජීවිතය ගැන කියන්නේ මෙහෙමයි...

"සමහර මගීන් අපට කරදර කරනවා...විශේෂයන් බේබද්දන්. එහෙත් මම ඔවුන් සමග රණ්ඩුවට යන්නේ නැහැ. මම එහෙම කළොත් ඔවුන් හෙට මගේ රික්ශෝවේ යන්න එන්නේ නැති නිසා.....මගේ ගෙදර එක පැත්තක් සම්පූර්ණයෙන් විවෘත නිසා හොඳ වාතාශ්‍රයක් ලැබෙනවා. කරදරයකට ඇත්තේ වැසි දවසට ගෙතුල තෙමීමයි. ඒ හැරුණු විට අපි හොඳින් ජීවත් වෙනවා...මම හවස ගෙදර එන තුරු තේ කඩය ළඟ බලා සිටින මගේ පුතා "තාත්තා" කියා කෑ ගසන විට මට දැනෙන්නේ සතුටක්. මගේ අසල්වැසියෝ හොඳයි...අපි හැමෝම යාළුවෝ...මගේ දරුවාගේ මුහුණ දකින විට දැනෙන්නේ පොහොසත්ම මිනිසා මම බවයි. සමහර විටෙක අපි ලුණුයි බතුයි කනවා. ඒත් අපි සතුටින්"

                                                               ~~~~~~~~~~~~~

මේ පර්යේෂණ වලදී සොයාගත් තවත් වැදගත් කාරනාවක් තියනවා. ලෝකයේ ඉතාමත් සතුටින් ජිවත් වෙන හැම කෙනෙක්ටම පාහේ ඉතා හොඳ පවුල්/නෑ සබඳතා තිබීමයි ඒ. රැකියාව තුළ තමාගේ තත්ත්වය හා ප්‍රතිරූපය ගැන වද වෙමින් සමාජ සබඳතා පසෙක හෙලීම සතුට වනසා දැමීමට දායක වේ. ඒ සම්බන්ධයෙන්, ලෝකයේ දියුණු රටවල් අතරින් අඩුම සතුටක් ඇති රට ජපානය බව හෙළි වී ඇත.

මේ, ජපන් ශ්‍රමිකයෙකුගේ සම්මුඛපරීක්ෂණයකින් කොටසකි. (වෙලාව- රාත්‍රී 11.50. ස්ථානය- කඩපිලක් අසළ )

Interviewer : What day is it today?
Japanese worker : (Umm) My birthday 
Interviewer : Is it ok to hang out with your colleagues on your birthday? is your girlfriend or family OK with that?
Worker : (smiling) I didn't even think about it...They invited me..I already explained to her...Business is more important. I will see her tomorrow.

ඒ ජපානයේ තත්ත්වයයි. දෙවැනි ලෝක යුද්ධයෙන් පසුව අන්තිම අගාධයටම ඇද වැටුණු ඔවුන් අද වන විට බටහිර රටවල් හා කරට කර සිටින තත්ත්වයකට පැමිණ ඇති බව සැබෑය. එහෙත් ඒ සඳහා ඔවුන්ට තම ජිවිතයෙන්, සතුටෙන් කොටසක්ද පූජා කිරීමට සිදු වී ඇත. අධික වැඩ සහිත පමණ ඉක්මවූ සේවා මුර නිසා ශ්‍රමිකයින් මිය යාම ජපානයේ සුලබ දෙයකි.ජපන් ආභාෂයක් ඇති "කරෝෂි" යන වචනයෙන් විස්තර වන්නේ එයයි.

කරෝෂි ගැන වීඩියෝවක්

ජපානයේ එහෙම වෙද්දී ආසියාවේ පුංචි රටක් වන භූතානය ඊට වෙනස්ම ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් සිටිනවා. ඔවුන්ගේ පරමාර්ථය වන්නේ මිනිසුන්ගේ ධනවත් බව නොව, සතුට වර්ධනය කිරීමයි. දළ ජාතික සතුට (Gross National Happiness :) යනු තම ආණ්ඩුවේ වගකීමක් බව ඔවුන්ගේ අදහසයි. එහෙත් තවමත් ඔවුන් ඒ අරමුණ බලා ගමන් ඇරඹුවා පමණයි.

මේ අතර ලෝකයේ සතුටින්ම සිටින මිනිසුන්ගේ රට ලෙස හඳුනා ගැනෙන්නේ "ඩෙන්මාර්කය" යි. ජිවිත කාලය පුරාවටම නොමිලේ සෞක්‍ය පහසුකම් සහ වි. විද්‍යාලය දක්වා නොමිලේ අධ්‍යාපනය ඔවුන්ට ලැබෙනවා. පවුල් කිහිපයක් එක්වී එක ගොඩනැගිල්ලක (එහෙත් වෙන් වෙන් නිවෙස් වල) සහයෝගයෙන් ජිවත් වීම ඩෙන්මාකයේ දකින්න පුළුවන්. එම පවුල් සැන්දෑවට, රාත්‍රී කෑම වෙලාවට එකට එකතු වෙනවා.


සහයෝගීතාවය ඔවුන්ගේ කැපී පෙනෙන ලක්ෂණයක්. තරඟකාරිත්වයට වඩා සහයෝගිතාව, ආදරය, අනුකම්පාව යන දේවල් සතුට සඳහා ඉහළින්ම දායක වේ.

                                                                    ~~~~~~~~~

පරිගණක ක්‍රීඩා, විදුලිය, රථ වාහන ආදිය සොයා ගැනීමට පෙර යුගයේ මිනිසා සතුට සොයා ගියේ කෙසේද?

ලෝකයේ ආදී වාසීන්ට සමානකම් කියන ජන කොටස් ජිවත් වන නැමීබියාව මේ පර්යේෂණ සඳහා තෝරා ගෙන ඇත. මේ මිනිසුන් ප්‍රධාන වශයෙන් ආහාර සපයා ගන්නේ දඩයමෙන් වන අතර නොයෙක් බෙරි වර්ග, අල වර්ග මෙන්ම පළතුරුද ආහාරය සඳහා ගැනේ. සොබාදහමත් සමගම ජීවත් වන ඔවුන්ට විලි වසා ගැනීම සඳහා රෙදි කඩක් පමණක් සෑහේ. ජීවත් වීම, දඩයමේ යාම වැනි සියලුම දේ ඔවුන් කරන්නේ සමූහ වශයෙන්. කෙනෙක් ලෙඩ වූ විට පවා ඔහු සුව කිරීමට සියලු දෙනාම එකා මෙන් සහාය දෙනවා. ඔවුන් කියන්නේ තමන් එකට සිටින තාක් කල් කරන්නේ කුමක්ද යන්න තමාට නොවැදගත් බවත් එහෙයින් ඔවුන් සිටින්නේ සතුටින් බවත්ය.




සතුට සොයා යන්නන්ට තවත් සුබදායී ආරංචියක් ඇත. අනුන්ට උදව් කිරීමෙන් ලැබෙන සතුට තරම් සතුටක් වෙනත් දෙයකින් නොලැබෙන බව පර්යේෂකයින් කියති. අපි "ඇන්ඩි විමර්" නම් බැංකු නිලධාරියාට මදක් සවන් දෙමු..

"මට ඕනා උනේ ලාබාලම බැංකු අද්‍යක්ෂකවරයා වෙන්න. මට හොඳ ආදායමක් තිබුණා. ඇති තරම් මුදල් වියදම් කරා වගේම ජීවිතය සතුටින් ගෙව්වා. ඒත් කල් යද්දී ඒ දේවල් තව දුරටත් වැදගත් නැති බව මට දැනුනා. මොනවා හෝ යමක් අඩු බව දැනුනා. හොඳ ආදායමක් සහිත හොඳ රැකියාවක්, බිරිඳක්, දූ දරුවන්, මේ හැම දේකටම වඩා තවත් යමක් ජිවිතයේ තිබිය යුතුයි. "

ඉන් පස්සේ තමයි ඔහු කල්කටාවේ තෙරේසා මවු තුමිය විසින් අරඹන ලද ප්‍රථම "Home for the Dying and Destitute" ආයතනය සමග සම්බන්ධ වී දුප්පත් රෝගීන්ට පිහිට වීම අරඹන්නේ.

"ඒ ආයතනයට මුලින්ම ගිය දවසේ මම දුටුවේ රෝගී වී මිය යමින් සිටි පිරිමි ළමයෙක්. මට සිදු උනා ඔහුට කවන්න. මම කවන විට ඔහු අපහසුවෙන් එය අනුභව කරා. ඉන් පස්සේ ඇස් ඇරලා මා දිහා බැලුවා. මට සිතුනා...මේ තමයි මම සොයපු දෙය..."

ඔහුගේ කතාවෙන් වඩාත්ම හිතට වැදුනේ මේ කොටස

"මට මේ ජීවිතය ලැබිලා තියනවා...දෙමව්පියන්, යහළුවන් සිටිනවා...මම කෙදිනකවත් දරුණු ලෙස රෝගී වී නැහැ....අවශ්‍ය තරම් ආහාර ලැබෙනවා....කිසි දිනක යුද්ධයක් අත්නොදුටු මගේ පරම්පරාවේ පළවෙනියා මමයි...මට මගේ ජීවිතය දෙවියන් විසින් දුන් ණයක් වගෙයි...මා එය පොළියත් සමග නැවත ගෙවිය යුතුයි."

ඉතින් ඔබ සතුටින්ද? දැන් ඔබට පිළිතුරක් දෙන්න පුළුවන් වෙයි.

මෙන්න සතුට සොයා යන්නන්ට මගෙන් සුළු තෑග්ගක්..ෆුල් ස්ක්‍රීන් දාගෙන තනියම බලන්න :)



The Mountain from TSO Photography on Vimeo.



ප. ලි.

හැපී නම් වාර්තා වැඩසටහන ඇසුරෙන් සකසන ලදී. මෙය එහි ඉතාමත් සංක්ෂිප්ත සටහනකි. එය නැරඹීමට අවශ්‍ය නම් මෙතනින් යන්න.

ස්තුතියි - සයුරු ට :)

Friday, February 1, 2013

අනුරපුර අවසානය - රාජාවලිය XXVII



ගියපාර රාජාවලිය ලිපිය අපි නතර කළේ පස්වන කාශ්‍යප රජතුමා රජ උනා කියල නේ. මේ රජතුමා දැහැමිව රට පාලනය කරපු හොඳ රජ කෙනෙක්.

ඔය කාලෙදි අපේ අසල්වැසි ඉන්දියාවේ සොලීන් සහ පාණ්ඩ්‍යයින් අතර සටන් ඇවිලිලා තිබුනලු. සොලීන්ගේ පහර දීම හමුවේ අසරණ වෙච්ච පඬි රජතුමා අපේ කාශ්‍යප රජුගෙන් ආධාර ඉල්ලීමේ ප්‍රතිඵලයක් හැටියට ලංකාවෙන් හමුදාවක් පාණ්ඩ්‍යයින්ගේ සහයට යවනවා. මේ හින්දා උද්දාමයට පත්වෙන පඬි රජතුමා පඬි සහ ලක් සේනා දෙකම එකතු කරගෙන චෝලයින් ඉදිරියට යනවා. වෙල්ලූර් වලදී දෙපිරිස මුණ ගැහිලා ඉතාමත් දරුණු සටනක් අරඹනවා. මේ වෙලාවේදී අවාසනාවකට ලක් සේනාවට වසංගත රෝගයක් වැළඳිලා එක එකා මිය යන්න පටන් ගන්නවා. මේ බව අසා දුක් වෙන කාශ්‍යප රජතුමා ඉතිරි සෙබළුන් වහාම ලක්දිවට ගෙන්වා ගන්න වග බලා ගන්නවා. වෙල්ලූර් සටන ජය පරාජයක් නැතුවම අවසන් උන බවයි කියවෙන්නේ. 

ක්‍රි. ව. 939 දී පස්වන කාශ්‍යප රජතුමා මිය ගියාට පස්සේ රජකම ලැබෙන්නේ ඔහුගේ පුත් හතරවන දප්පුල රජතුමාට (ක්‍රි. ව. 939 - 940). ඒත් එයින් මාස 7 කට පස්සේ ඔහු මිය ගිය නිසා ඉන් පස්සේ ඔහුගේ සොහොයුරු පස්වන දප්පුල රජ වෙනවා (ක්‍රි. ව. 940 - 952). මේ කාලයේදීත් පස්වන කාශ්‍යප රජුගේ කාලයේදී වගේම සොලීන් විසින් පඬි දේශය ආක්‍රමණය කිරීම නිසා පඬි රජු සහය පතා ලංකාවට එනවා. දප්පුල රජු යුධ ආධාර ලබා දෙන්න සූදානම් උනත් ප්‍රාදේශීය නායකයින් එයට එරෙහිව නැගී සිටින නිසා ඒ අදහස අත්හැරගන්න සිදු වෙනවා. මේ නිසා පඬි රජතුමා, ඔටුන්න ඇතුළු වටිනා භාණ්ඩ දප්පුලV රජු භාරයේ තබා කේරළය බලා පිටත් වෙනවා.  

පස්වන දප්පුල රජතුමා මිය යන විට යුව රජුව සිටි ආදිපාදවරයා උදය II නමින් රජ වෙනවා (ක්‍රි. ව. 952 - 955). ඒත් ඇමතිවරුන් අතර මේ රජතුමා ගැන අප්‍රසාදයක් හට ගන්නවා. හේතුව නොදනී. මේ ගැන රජතුමාගේ කනට වැටීම නිසා ඇමතිවරු බයට පත් වෙලා තපෝ වනයකට පලා ගිහින් සැඟවී ජිවත් වෙනවා. කොහොම උනත් රජතුමාත් ඉන්නේ ඔවුන්ට බයෙන්. මේ නිසා යුවරජ සමග එකතු වෙලා උදය රජතුමා තපෝ වනය වටලා ඇමතිවරුන් සොයා දරුණු විදියේ සංහාරයක් කරනවා. මෙයින් කළකිරෙන තපෝවන භික්ෂුන් රුහුණට පලා යනවා. අවසානයේ පසුතැවිලි වන යුවරජ ඒ භික්ෂූන් සොයා ගොස් ඔවුන් නැවතත් තපෝ වනයට ගෙන්වාගන්න කටයුතු කරනවා. රජතුමාත් භික්ශුන්ගේ දෙපා මුල වැටී සමාව ගන්නවා. 

දෙවන උදය රජතුමා මිය ගියාට පස්සේ රජ වෙන්නේ යුවරජ ව සිටි ඔහුගේ සොහොයුරු තුන්වන සේන (ක්‍රි. ව. 955 - 964). ඔහු මේ වන විට ඉතාමත් දැහැමි පුද්ගලයෙක් බවට පත්ව සිටියා. ආගමානුකූලව දහමින් රට පාලනය කළ මෙතුමා දුප්පතුන්ටද උදව් උපකාර කරනවා. සේන III රජතුමා මියගියාට පස්සේ රජ වෙන්නේ යුව රජ වී සිටි ඔහුගේ හොඳ මිතුරෙක් වන තුන්වන උදය රජතුමා (ක්‍රි. ව. 964 - 972). මේ රජතුමා මත්පැනට ලොල් වූ උදාසීන පාලකයෙක් විදිහටයි සැළකෙන්නේ. මේ නිසා රටේ පරිපාලන කටයුතු එහෙම පිටින්ම අවුල් වෙලා ගියාලු. මෙයින් වෙන තවත් අවාසියක් තමයි චෝලයින් අවස්ථාවෙන් අයුතු ප්‍රයෝජන ගැනීමට සැරසීම. රට අවුල් සහගත තත්වය දුටු චෝල රජතුමා,  දප්පුලV රජුගේ කාලයේ පඬි රජු විසින් ලංකාවට භාර දුන් රාජ්‍ය ආභරණ ඉල්ලා සන්දේශයක් එවනවා. එහෙත් තුන්වන සේන රජතුමා එය ප්‍රතික්ෂේප කරනවා (ඒ වෙද්දී චෝලයින් පඬි රට යටත් කරගෙන). මෙයින් කිපෙන චෝල රජතුමා සේන රජුට විරුද්ධව සටන් කිරීමට සේනාවක් එවනවා. මේ සටනින් සිංහල හමුදාව පරාජය වෙද්දී උදය රජතුමා රුහුණට පලා යනවා. රජු හඹා යාම අපහසු බව දුටු සොලී සේනාව හැකි තරම් වස්තුව කොල්ල කා ගෙන ආපසු යනවා. කොහොම උනත් මේ ප්‍රශ්න ඇති උනේ තමන්ගේ දුර්වල කම නිසා බව තේරුම් ගන්න උදය රජතුමා ඒ ගැන පසුතැවි ශක්තිමත් හමුදාවක් සදා සොලී දේශයට යවනවා. ඔවුන් සොළින්ගේ වස්තුවද කොල්ල කාගෙන නැවත පැමිණෙනවා.

උදය III රජුගෙන් පසු රජ වෙන්නේ ඔහුගේ යුවරජ සේන IV (ක්‍රි. ව. 972 - 975). ඔහුගේ කෙටි රාජ්‍ය කාලයෙන් පසුව රජකම ඔහුගේ සොහොයුරු මහින්ද  IV (ක්‍රි. ව. 975 - 991) ට හිමි වෙනවා. මේ මහින්ද රජතුමා අගමෙහෙසිය හැටියට පාවා ගන්නේ කාලිංග කුමරියක්. ඇයට පුතුන් දෙදෙනෙක් සහ දුවක් ලැබෙනවා. මේ කාලයේදී චෝල රජෙක් වන වල්ලභ විසින් ලංකාවට හමුදාවක් එව්වත් ඔවුන් පරාජය කරන්න රජුගේ සේනාවට හැකි වෙනවා. හතරවන මිහිඳු රජතුමා මියයන විට කාලිංග බිසවගෙන් ලද පුත්‍රයාගේ වයස අවු. 12 ක් වුවත් රජකම ලැබෙන්නේ ඔහුට. ඔහු සේන V නමින් රජ වෙනවා (ක්‍රි. ව. 991 - 1001). මේ ළමා රජතුමා හැසිරෙන්නේ ඉතාමත් නොමනා ආකාරයට. රජකම් කිරීමට තරම් හැකියාවක් බුද්ධිය මෝරා නැති මේ කුඩා ළමයාට නොතිබුනා වගේම ඔහුගේ ඔහුගේ ක්‍රියා කලාපයත් හොඳ උනේ නැහැ. මේ නිසා මහින්ද රජුගේ ප්‍රධාන සෙනෙවියා මොහුට විරුද්ධ වෙනවා. රජු විසින් සෙනෙවි ගේ තනතුර වෙන කෙනෙක්ට පිරිනැමීමත් එයට එක හේතුවක් උනා. සෙනෙවියාට පරාද වෙන රජතුමා දකුණු දේශයට පලා ගියත් ඔහුගේ මව ඉතුරු දරුවන් දෙදෙනාත් සමග අග නුවර රැඳෙමින් රටේ පාලනය කටයුතු කරගෙන යනවා. මේ අතර සෙනෙවියා ඔහුගේ ද්‍රවිඩ භටයින්ට අනුරාධපුරය බාර දී පොළොන්නරුවේ වාසයට යාම නිසා ද්‍රවිඩයින් හිතේ හැටියට සිංහලයින්ට හිංසා පීඩා කරන්න පටන් ගන්නවා. මේ අවුල් සහගත තත්වය නිසා රුහුණට පලාගිය සේන රජතුමා නැවතත් සාකච්චා මාර්ගයෙන් සෙනෙවි සමග මිතුරු වී අගනුවරට පැමිණෙනවා. සෙනෙවිගේ දියණිය රජුට පාවා දීමත් සිදු වෙනවා.

පස්වන සේන රජතුමාගෙන් පසු රජ වෙන්නේ ඔහුගේ බාල සොහොයුරු පස්වන මිහිඳු (ක්‍රි. ව. 1001 - 1017). මොහු ඉතාමත් දුර්වල පාලකයෙක් උන නිසා පාලන කටයුතු හරිහැටි කර ගැනීමත් ඔහුට අපහසු උනා. මිනිසුන් බදු ගෙවීම ප්‍රතික්ෂේප කළ බැවින් භාණ්ඩාගාරය හිස් වී හමුදා භටයින්ට පඩි ගෙවා ගැනීමටත් නොහැකි අවස්ථාවකට ආවා. මෙවිට කේරළ භටයින් මාළිගාව වටලා කැරලි ගැසීම නිසා රහසේම රුහුණට පලා යාමට රජුට සිදු උනා. මේ අතර අගනුවර පාලනය ද්‍රවිඩ භටයින් සහ වෙනත් අය අතින් හිතු මනාපයට සිදු වුන නිසා රට ඉතාමත් අවුල් සහගත තත්වයකට පත් වුනා. කෘෂි කර්මාන්තය, වාරි කර්මාන්තය, මේ හැම දෙයක්ම බිඳ වැටුනා. මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගත්තේ කල දුටු කල වල ඉහ ගැනීමට බලා සිටි චෝලයින්. රාජ රාජ නම් චෝල රජ, ඔහුගේ පුත් රාජේන්ද්‍ර ප්‍රමුඛ සේනාවක් ලංකාවට එවන්නේ ලංකාව යටත් කර ගැනීමේ අදහසින්. මේ සේනාව ලංකාවට ගොඩ බැසි මොහොතේ පටන්ම ගම් දානව ගිනි තියමින් විශාල සංහාරයක් කරමින් අග නුවරට ඇතුල් උනා ලු. දප්පුලV රාජ්‍ය සමයේ පඬි රජු මෙහි තබා ගිය රාජ්‍ය ආභරණත් පැහැර ගත්තා කියලා සඳහන් වෙනවා. ඒ වගේම පස්වන මිහිඳු රජතුමාත් චෝල දේශයට අල්ලාගෙන ගියාලු. ඔහුගේ මරණය සිදු වෙලා තියෙන්නේ එහිදී. එහත් රජතුමාගේ පුත්‍රයෙක් රුහුණු වැසියන් විසින් සඟවා ගෙන ආරක්ෂා කළ බවත් කියවෙනවා.

ඉතින් අනුරපුර යුගයේ අවසාන සිද්ධ වෙන්නේ මෙවැනි අවාසනාවන්ත ආකාරයකට. දිවයිනේ වැඩි කොටසක් චෝල බලයට නතු වීම නිසා සිංහල ජනතාව එයින් පීඩා විඳිනවා. රටේ තවත් අඳුරු යුගයක් මේ ආකාරයට ආරම්භ වෙනවා.
Related Posts Plugin for WordPress, Blogger...