Tuesday, June 25, 2013

විසෙන් විස නැසීම




මේ ලඟදි දවසක මට අහන්න ලැබුනා විශ්වාස කරන්නත් බැරි තරමේ අරුම පුදුම කතාවක්. වෛද්‍ය විද්‍යාවේ තවත් ආශ්චර්යයක් ගැන (ආශ්චර්යයක් කිව්වේ ඇත්තම ඇත්ත ආශ්චර්යයක්).

HIV වෛරසය කිවූ ගමන් අපිට මතක් වෙන්නේ මහා භයානක, සතුරෙකුටවත් නොහදිය යුතු ලෙඩක්. හැබැයි මේ වෛරසයෙන් අපි නොහිතන විදියේ ප්‍රයෝජන ගන්න පුළුවන් බව වෛද්‍යවරු කණ්ඩායමක් ඔප්පු කරලා තියනවා.

පුංචි "එමා" අවුරුදු 6 ක ගැහැණු ළමයෙක්. සාමාන්‍ය ගැහැණු ළමයෙක් නෙමෙයි ලියුකේමියාවෙන් පීඩා විඳින, මරණය අභියස සිටින කෙනෙක්. තවත් කළ හැකි ප්‍රතිකාරයක් ඉතිරි නොවූ තැන වෛද්‍ය විද්‍යාවේ අමුතුම ආකාරයේ පරීක්ෂණයකට ඇයව ලබා දෙන්න එමාගේ දෙමව්පියන් කැමති වෙනවා. ඒ පරීක්ෂණය තමයි HIV වෛරසය යොදාගෙන ලියුකේමියා පිළිකා සෛල නැසීම.

තව දුරටත් රෝගකාරකයක් විය නොහැකි වන පරිදිත් එහෙත් පිළිකා සෛල වලට පහර දීමට හැකි වන පරිදිත් වෙනස් කළ HIV වෛරසය එමාගේ සිරුරට ඇතුල් කරනවා. එයින් පසු ඇයට උණ, හුස්ම ගැනීමේ අපහසුතා, රුධිර පීඩන වෙනස් කම් වැනි දේවල් වලින් දින ගණනක් කරදර විඳින්න සිද්ධ වෙනවා. කෙසේ උනත් ඇය නිසැකවම මිය යාමට සිටි දැරියක් බව හැමෝම දැන සිටියා. කොයි අතින් උනත් විය හැකි දරුණුම දේ මරණය...

නමුත් එක වරම වෛරස් සෛල වර්ධනය වී පිළිකා සෛල විනාශ කිරීමට පටන් ගන්නවා. ඉන් පැය කිහිපයකට පසු එමාගේ උණ සම්පූර්ණයෙන් බැස යනවා. ඇය ඇඳෙන් නැගිටින්නේ ලියුකේමියාවෙන් සම්පූර්ණයෙන් නිදහස් ළමයෙකු ලෙස.

මේ තියෙන්නේ ඒ ගැන පුංචි වීඩියෝවක්. වැඩිය දිග නැහැ. විනාඩි 3.30 යි.




සමහර විට තොටියා අයියා එහෙම මේ පැත්තේ ආවොත් වැඩි විස්තර කියාවි. මටනම් ඒ තරම් වෛද්‍ය විද්‍යාව ගැන දැනුමක් නෑ මේවා පැහැදිලි කරන්න.

කොහොම උනත් පුදුමයි නේද? විසක් උනත් තවත් විසක් නසන්න ප්‍රයෝජනවත් වෙන්න පුළුවන්.


Monday, June 17, 2013

සුපීරියර් විලේ සිතුවම් ගල්

සුපීරියර් විල කියල කියන්නේ පංච මහා විල් වලින් ලොකුම එක. පංච මහා විල් කියන්නේ මොකද්ද කියලනම් අහන්න එපා හොඳේ. :) එක සැරයක් නයගරා ගැන ලියපු පෝස්ට් එකේදී ඔය විල් හැදුන හැටි, විස්කොන්සින් ග්ලැසියේෂන් ගැන එහෙම කිව්වා මතකයි.

ඉතින් මේ සුපීරියර් විලේ කොනක එක්තරා පුංචි ඉවුරක් තියනවා "Pictured Rocks" කියලා. ඒ ඉවුරට මේ නම ලැබෙන්න හේතුවකුත් තියනවා.



ඔය ඉවුරේ බිත්තිය දිහා හොඳට බැලුවොත් පෙනේවි නිකන් ඉරි ඉරි චිත්‍රයක් වගේ එකක්. ටිකක් වම් පැත්තට වෙන්න. ඒ වගේ ස්වාභාවික චිත්‍ර ඉවුර දිගටම පිහිටලා තියනවා. මෙතන ඉවුරෙන් බොහොම පොඩ්ඩයි පේන්න තියෙන්නේ.  හරියටමනම් මේ ඉවුරුවල දිග හැතැප්ම ගානක්. ඉතින් ඒ ඉවුරු දිගටම අර විදියේ චිත්‍රත් පිහිටලා තියනවා.

හැබැයි මේවා ගොඩ ඉඳගෙන නම් දැකගන්න බැහැ. ඒකට පුංචි පහේ ක්රූස් එකක් සූදානම් කරලා තියනවා අපිව එක්ක ගිහින් ඒවා පෙන්නන්න. ඔය යන්නේ එයින් එකක්.


ඔහොම ඉවුරු අයිනෙන් යාත්‍රා කරගෙන යනකොට ඔන්න චිත්‍ර පොතක වගේ අපූරු සිතුවම් පේන්න පටන් ගන්නවා. මේ සිතුවම් රතු, නිල්, කළු, කොළ වගේ වර්ණ වලින් දකින්න පුළුවන්. 





මම කලින් කිව්වනේ සුපිරියර් විල තමයි පංච මහා විල් වලින් ලොකුම සහ ගැඹුරුම එක කියලා. ඒ වගේම එදා දැනගත්ත තවත් කාරණයක් තමයි මේ විලේ ජලය සාපේක්ෂව ඉතාමත් පිරිසුදුයි ලු. ඒ කතාවනම් ඇත්ත වෙන්න ඕනේ. වතුරේ පාට දිහා බැලුවමත් ඒක පේනවා.

මේ තියෙන්නේ සාමාන්‍ය පොයින්ට් & ශූට් කැමරාවකින් ගත්ත විල් පතුලේ පින්තුරයක්.



මේ ආරුක්කුවක් වගේ පේන ස්ථානයට කියන්නේ "lover's leap" කියලා. ඔතන විල ගැඹුරුයි වගේ පෙනුනට ඉතාමත් නොගැඹුරු තැනක්. කවුරු හරි ගිලිලා මැරෙන්න හිතාගෙන වතුරට පැන්නට වැඩක් වෙන්නේ නෑ. විලේ පතුලේ වැදිලා තමයි මැරෙන්න වෙන්නේ.

 

හැබැයි මේ ගමනේ උපරිම විනෝදය ලැබෙන්නේ ක්රූස් එකෙන් ගියොත් නෙමෙයි. තනි මනුස්සයෙක්ට විතරක් යන්න පුළුවන් kayak කියන බෝට්ටු විශේෂය ගැන අහල ඇතිනේ. ඉතින් කැමති අයට පුළුවන් කයැක් එකක් බද්දට අරගන්න. ඉන් පස්සේ කයක් එකයි මිනිහවයි දෙන්නවම වෙනත් බෝට්ටුවකින් ඈතට අරගෙන ගිහින් සිතුවම් ඉවුරු අතරේ අත ඇරලා එනවා. හිතේ හැටියට පැදලා කැමති වෙලාවක ගොඩට පැදගෙන එන එකයි තියෙන්නේ. මේ ඉන්නේ එහෙම kayak කාරයෝ ටිකක්. ක්රූස් එකට යන්න බැරි අහුමුලු අස්සට මේ අයට යන්න පුළුවන්.




මමනම් ඉතින් ඔය kayak වැඩේට කැමති නෑ. ඒක මේ දැන් පෙරලෙන්න බලාගෙන ඉන්නේ කියලමයි  මට හිතෙන්නේ. ඊට වඩා ටිකක් ස්ථායි canoe කියන ජාතිය. ඩබල් දාලා තමා යන්නේ. ඒවායේ නම් අපි ගිහින් තියනවා දෙතුන් පාරක්. දෙන්නෙක් ඉන්නකොට වැඩිය හොඳයි නේ :)

                                                                 ~~~~~~~~~~~~~~

පින්තූර දදා හිටියා මිසක් මේ විදියේ සිතුවම් ගල් වල මැවුනේ කොහොමද කියලා කිව්වේ නෑ නේ. ඒකට හේතුව තමයි ඛනිජ ලවණ. මේ උස ඉවුරු වැඩි හරියක්ම සමන්විත වෙන්නේ ගල් වලින්. ඒවායේ අඩංගු වෙනවා එක එක වර්ගයේ ඛනිජ ලවණ.

මෙන්න මේවා තමයි අපිට දකින්න ලැබෙන සිතුවම් වර්ණ වලට හේතු

යකඩ - රතු පැහැය
මන්ගනිස් - සුදු සහ කලු
ලිමොනයිට් - කහ දුඹුරු
තඹ - රෝස කොළ පැහැය

ඒ වගේමයි කාලාන්තරයකට කලින් විලේ ජල මට්ටම තිබිලා තියෙන්නේ මීට ගොඩක් උසින් ලු. කාලයත් එක්ක ජල මට්ටම පහළ බහිද්දී ඉවුරු ඛාදනය වීමත් එක්ක අර ඛනිජ ලවණ දිය වුන සලකුණු ඉතිරි කරලා ජලය වාෂ්ප වෙලා ගිහින්. ඕක තමා එයාලා අපිට දීපු පැහැදිලි කිරීම.

ආ..තව පොඩ්ඩෙන් අමතක වෙනවා. හොඳම පින්තුරේ දැම්මේ නැහැනේ. ඔන්න බලන්න. මුකුත් අමුත්තක් එහෙම පේනවද?



තෙතමනයක් නැති කාෂ්ඨක ගල් පර්වතයක් උඩ පුංචි පැලයක් පැල වෙලා. ටික ටික ලොකු වේගෙන එද්දී තමයි වැඩේ තේරෙන්නේ. නෝ වෝටර්...නෝ ෆුඩ්...

දැන් ඉතින් මොකෝ කරන්නේ. ගහත් වැඩේ අත ඇරලා නැහැ. පේනවද පර්වතයේ වම් පැත්තෙන් ගහේ මුල් වගයක් ඇදිලා ගිහින් ප්‍රධාන ගොඩ බිමත් එක්ක සම්බන්ධ වෙන හැටි? ඒක තමා නොමැරී ඉන්න ගහ හොයා ගතිපු ක්‍රමය. හරියට පිටරටකින් ආහාර ආනයනය කරනවා වගේ. කෝම හරි ගහ තවමත් සුවෙන් :)

Tuesday, June 4, 2013

අසමගි නෑයෝ - රාජාවලිය XXIX

කට්ටියට මතකද මන්දා දැන් අපි කොහෙද ඉන්නේ කියලා. එච්චර වේගෙන් මේකේ ලිපි ලියවෙනවනේ දැන් :) කමක් නෑ....දැන් අපි ඉන්නේ පොළොන්නරු යුගයේ. අන්තිම ලිපියෙන් අපි කතා කරේ මහා විජයබාහු රජතුමා චෝලයින්ගෙන් රට නිදහස් කරගෙන රජ වෙච්ච හැටි.

ඒ ලිපියේම අපි කතා කරා ජගතිපාල කියලා අයෝධ්‍යාවෙන් පැමිණිලා පාලන කටයුතු අල්ල ගත්තු නායකයෙක් ගැන. අන්තිමට චෝලයින් ඔහුවත් පරාජයට පත් කරලා ඔහුගේ බිරිඳ සහ දියණිය සිර කරුවන් විදියට ඉන්දියාවට ගෙන යනවා. මෙන්න මේ කාලයේදී ඔවුන් දෙදෙනා නිදහස් වෙලා නැවත ලංකාවට එනවා. ඉතින් විජයබාහු රජතුමාත් ඔවුන්ව පොළොන්නරුවට ගෙන්වාගෙන හොඳින් සත්කාර කරනවා. අන්තිමේදී රජතුමාගේ අගබිසව වීමේ වාසනාව ලැබෙන්නේ මේ දියණියට, එනම් "ලීලාවතී" කුමරියට. ඔවුන් දෙදෙනාට යශෝධරා නම් දියණියක්ද ලැබෙනවා.


විජයබාහු රජතුමාට "මිත්තා" නම් බොහොම ලස්සන සහෝදරියක් ඉන්නවා. මේ කුමරියට හැම පැත්තෙන්ම මංගල යෝජනා එද්දී චෝල රටෙන් ආපු කුමාරයෙකුත් කුමරිය ගැන අදහසක් තියාගෙන ඉන්න බව රජුට දැනගන්න ලැබෙනවා. මේකට නොසෑහෙන්න උදහස් වෙන රජතුමා අර කුමාරයාට ඒ ගැන තරවටු කරනවා. අච්චර කාලයක් තිස්සේ තමන්ගේ රටට වින කළ අයට තමන්ගේ සොයුරියක් දෙන්න රජතුමා කැමති උනානම් තමයි පුදුමේ. ඒත් මේ ක්‍රියාව නිසා පසුව කරදර ඇති විය හැකි බව සිතා රජතුමා පසුතැවෙනවා. ඒ නිසා ඉක්මනින්ම මිත්තා කුමරිය පාන්ඩ්ය කුමරෙක්ට සරණපාවා දෙනවා. මේ මගුල් තුලා කටයුතු වලිනුත් එතුමා කළේ උපක්‍රමශිලිව විදේශ සබඳතා තර කර ගැනීම. එහි තවත් පියවරක් විදියට තමන්ගේ දෙවන බිසව ලෙස කාලිංග රජ පරපුරෙන් "තිලෝකසුන්දරී" කුමරිය සරණපාවා ගන්නවා. එමෙන්ම පිරිහී තිබුණු භික්ෂු ශාසනය රැක ගැනීමට බුරුමයේ අනුරාධ රජුගේ අනුග්‍රයෙන් නැවත උපසම්පදාව පිහිටුවනවා. මේ සබඳතා නිසා තවත් කාලයක් යනතුරු චෝලයින්ගෙන් ලංකාවට කරදර ඇති වෙන්නේ නැහැ.  ඒත් චෝල අධිරාජයා පිටින් නොපෙන්නුවත් ලංකාවත් සමග සිටියේ නොසතුටින්.

මේ අතරේ චෝල සහ කර්නාට යන දෙරටින් ලංකාවට පැමිණි සාම දූත පිරිසක් රජතුමා හොඳින් පිළිගෙන ප්‍රති උත්තර විදිහට මෙරටින් තෑගි බෝග රැගෙන සාම දූතයින් එහි යවනවා. චෝලයින් සමග වෛරය යටපත් කරගන්නට රජතුමා උත්සාහ කරන්න ඇති.  එහෙත් සිදු වන්නේ අනෙකක්. චෝලයින් කරන්නේ මෙහෙන් ගිය සාම දූතයින් අල්ලාගෙන කන්, නාසා ආදිය කපා නැවත ලංකාවට එවීම. මෙයින් කුපිත වෙන රජතුමා "කුලෝත්තුංග" නම් එවකට සිටි සොලී රජුට අභියෝග කරනවා සටනකට එන ලෙස. සොලී රජුගෙන් ප්‍රතිචාරයක් නැති තැන සොලී රටට ගොස් පහර දීම සඳහා සේනාව රැස් කරන රජතුමාට තවත් නොහිතූ කරදරයකට මුහුණ දෙන්න සිද්ද  වෙනවා. ඒ තමයි රජතුමාගේ චෝල කුලී භටයින් විසින් අභ්‍යන්තර කැරැල්ලක් ඇති කිරීම. මේ චෝල භටයින් වැඩි හරියක් අර ගජබා රජතුමා දකුණු ඉන්දියාවෙන් අරගෙන ආපු අය.  ඒ ඉතින් අපේ රජෙක් කරපු තවත් මෝඩ කමක් තමා. ඉතින් මේ කැරැල්ල නිසා අපේ සේනා වලට වරායෙන් පිටත් වෙන්නවත් ලැබුනේ නැහැ. විජයබාහු රජතුමාට සිද්ද උනේ උපක්‍රමශීලිව වාකිරිගලට පලා යන්න. වාකිරිගලදී රජු තමන්ගේ සහෝදර වීරබාහු උප රජු සමග එක්ව නැවත සේනා සංවිධානය කර පොළොන්නරුව බලා යනවා. එහිදී ඇති වෙන ඉතාමත් දරුණු සටනකින් පසුව සොලී කුලී හේවායින් පරදවන්න ඔවුන්ට හැකි වෙනවා. ජීවග්‍රහයෙන් අල්ලාගත් කුලී හේවායින්, කැරැල්ලේදී මරා දැමූ සිංහල සෙනෙවියන්ගේ සොහොන් කොත් වලට තබා බැඳ, ගිනි තැබූ බවත් කියවෙනවා.


මේ අතර යුව රජ වූ වීරබාහුගේ වියෝව නිසා ඉතාමත් දුකට පත් වෙන රජතුමා ඔහුගෙන් හිස් වුනු යුවරජ තනතුරට පත් කරන්නේ බාලම සොහොයුරු "ජයබාහු". රුහුණේ පාලකයා ලෙස  පත් කරන්නේ තිලෝකසුන්දරී බිසවගෙන් ලද පුත් "වික්‍රමබාහු".

මහා විජයබාහු රජතුමාගේ මරණය සිද්ධ වෙන්නේ ක්‍රි.ව. 1110 දී. සිංහලේ මහා ගැලවුම්කරු ලෙස විරුදාවලිය ලැබිය යුතු, අති දක්‍ෂ මෙන්ම ගුණ ගරුක (තමාට උදව් කළ බුදල්නාවන්ට කළගුණ සැලකීම සඳහා කරවූ පනාකඩුව තඹ සන්නසෙන් පැහැදිලි වන පරිදි ) උතුම් රජෙකුගේ මරණය රටටම දුකක් බව අමුතුවෙන් කිව යුතු නැත.

විජයබාහු රජතුමාගේ මරණින් පස්සේ උදා උනේ තවත් කලබලකාරී කාලයක්. රජ කිරුල ලබා ගැනීම සඳහා උරුමක්කාරයින් සටන් වැදීම තමා එයට හේතුව. රජුගේ සොයුරිය, මිත්තා කුමරියට පුතුන් තිදෙනෙක් සිටි අතර ඔවුන් රාජ්‍ය බලය ලබා ගැනීමට යුහුසුළු උනා. මේ සඳහා ඔවුන් කළේ ඇමතියන් සහ සංඝයා වහන්සේලාගේ උපකාර ඇතුව දැනට යුවරාජ ව සිටි රජුගේ සොහොයුරු "ජයබාහු" (ක්‍රි. ව. 110 - 1111) රජකමට පත් කිරීම. මේ කටයුත්ත කළේ විජයබා රජුගේ පුත් වික්‍රමබාහු ට නොදන්වා. ජයබාහුට රජකම ලැබුනත් රාජ්‍ය පාලන බලය සම්පූර්ණයෙන්ම අතට ගත්තේ මිත්තා කුමරියගේ පුතුන් තිදෙනා. එයින් වැඩිමහල් "මානාභරණ" කුමරු යුවරජ බවට පත් වුනා. සියලු කටයුතු කෙරුනේ ඔවුන්ට උවමනා විදියට. ජයබාහු රූකඩ රජෙක් බවට පත් උනා.  

මෙයින් නොනැවතුණු ඔවුන් තමන්ගේ මස්සිනා වන වික්‍රමබාහු කුමරු අත්අඩංගුවට ගැනීම සඳහා රුහුණු දේශය බලා යාමට සූදානම් වෙනවා. මේ බව ඇසූ වික්‍රමබාහු කුමරු සේනාවකුත් රැගෙන පොළොන්නරුවට ගොස් මුලින්ම තම පියාගේ සොහොනට ගෞරව දක්වනවා. ඉන් පස්සේ ඔහු හා සටනට එන තෙසොහොයුරන් පැරදවීමට වික්‍රමබාහු කුමරු සමත් වෙනවා. මෙහිදී පලා යන මානාභරණ සහ සොහොයුරන් නැවත නැවතත් සංවිධානය වී සය වරක්ම වික්‍රමබාහු කුමරු පරාජය කිරීමට උත්සාහ කරත් ඔවුන්ට නැවත නැවතත් පරාජයම අත් වෙනවා. මේ නිසා ඔවුරුහුණට පලා ගොස් එය හවුලේ පාලනය කරන අතර වික්‍රමබාහු රජු (ක්‍රි. ව. 1111 - 1132) රාජ්‍ය පාලනය බාර ගන්නවා.

කෙසේ වෙතත් මානාභරණ ඇතුළු පිරිස වික්‍රමබාහු රජු සමග ඇති උදහස යටපත් වන්නට දෙන්නේ නැහැ. ඔවුන් නැවතත් රජුට විරුද්ධව සටනට පිටත් වෙනවා. මේ ආරංචිය ලැබුන විගසම වික්‍රමබාහු රජුත් සේනාව සමග ඉදිරියට පැමිණෙනවා. ඒ සටනෙනුත් පැරදෙන සොහොයුරන් පස් යොදුන් රටට පලා යනවා. කොරේ පිටට මරේ කියන්න වගේ මේ වෙලාවේ වික්‍රමබාහු රජුට විදේශ ආක්‍රමණයකටත් මුහුණ දෙන්න වෙනවා. ඒ වීරදේව නම් සෙනෙවියාගෙන්. වීරදේව ඇතුළු පිරිස මාතොටට ගොඩබැස කරන සංහාරය ගැන ඇසූ රජු ඔවුන් හා සටනට පිවිසියත් රජුගේ හමුදාව දුර්වල වීමට පටන් ගන්නා නිසා රජුට සිදු වෙන්නේ සියලු වටිනා වස්තුවත් රැගෙන පලා ගොස් සැඟවීමට. මහකරදාම දුර්ගයේ සැඟවුණු රජුගේ සේනාවට පහර දීමට පැමිණි වීරදේව ගේ සේනාව විනාශ කිරීමට රජු සමත් වෙන්නේ භූ විෂමතාවෙන් උපරිම ප්‍රයෝජන ගන්නා නිසා. මේ ජයග්‍රහණයෙන් පසුව රජුගේ බල පරාක්‍රමය හැම දිසාවේම ප්‍රසිද්ධ වෙද්දී මානාභරණ ඇතුළු සොහොයුරන් පසු බා රජුට විරුද්ධ සටන් අතහැර දමා රුහුණට ගොස් ජිවත් වෙනවා.

වික්‍රමබාහු රජුගේ මරණයෙන් පස්සේ රජ වෙන්නේ ඔහුගේ පුත් ගජබාහු II (ක්‍රි. ව. 1132 - 1153). මේ සිද්ධිය නිසා නැවතත් රුහුණේ සිටින තෙසොහොයුරන් කලබල වෙනවා. මෙවර කරලියට බහින්නේ බාල සොයුරන් දෙදෙනා වන "කීර්ති ශ්‍රී මේඝ" සහ "සිරි වල්ලභ". ඔවුන් පොළොන්නරුවේ ද්‍රවිඩ කුලී හේවායින්ට පගා දී තමන් දෙසට හරවා ගෙන ඥාතිත්වයෙන් තම බෑණනුවන් වන ගජබා රජු හා සටන් කිරීම සඳහා පොළොන්නරුවට ගොස් දෙපැත්තකින් කඳවුරු බඳිනවා. මේ බව ඇසූ රජතුමා රාජකීය සේනාව යොදවා ඔවුන් පරාජයට පත් කරනවා.

මේ ආකාරයට අවුරුදු 20 ක් පමණ රජකම් කිරීමට ගජබාහු සමත් වෙනවා. එකම පවුලේ ඥාතීන් බලයට පොර කෑම පිළිකුල් සහගත උනත් මේ එහි අවසානය නොවේ. ඊ ළඟ රාජාවලිය ලිපියෙනුත් මේ පවුල් අතර ඇති වෙන හැලහැප්පීම් ගැන විස්තර බලාපොරොත්තු වන්න.

Related Posts Plugin for WordPress, Blogger...