Tuesday, April 12, 2016

වසන්තයේ හිරු පායා

වසන්තයේ අග...හමු වෙමු සොඳුරිය...
ලවැලි තලාවක...විසුල කුසුම් මත...

එඩ්වඩ් ජයකොඩි තමා ඔහොම කියන්නේ. 

අපිටනම් මේ වසන්තේ මුල...

මම බලාගෙන ඉන්න ආසම දෙයක් තමයි "දියවෙන හිම". ඒ කිව්වේ  melting snow. හිම වැටෙනකොටත් ලස්සන තමා. ඒ උනාට දිය වෙනකොට ඊටත් වඩා ලස්සනයි. වසන්තයේ මුල්ම රැස් දහරෙන් අඩියක් විතර උස හිම තට්ටුව අඟලෙන් අඟල දිය වෙලා පුංචි දිය කඳුරු බවට පත් වෙලා ගලා ගෙන යනකොට ඇහෙන සිලි සිලි සද්දේ හරිම මිහිරියි. 

හිම දිය උනාට පස්සේ ඉතින් තෙත් වෙච්ච පොළවෙන් උඩට මතු වෙන්නේ අලුත්ම අලුත් ලා කොළ පාට තණකොළ. ඒත් එක්කම කොළ හැලිච්ච ගස් වැහිලා යන්නේ මල් වලින්.  ඊ ලඟට ටියුලිප් සහ Daffodil. මතකනේ දයාන් විතාරණ කිව්වා...

හිත මා සොරා ගෙන ගියේ ඇයිද Daffodil මලේ 
හිම වාගෙ සුන්දර හසකැන් රඳවා හදේ 
මුමුණා කියන්නෙ නල රැලින් කඳු මානයේ 
ඔබ තාම මාගෙමයි වසත් කල යෞවනේ 

ඔය අස්සේ මල් වැහි වලිනුත් අඩුවක් නැහැ ඉතින්. වෙලාවකට එපාත් වෙනවා. ඒ උනාට වසන්තෙයි වස්සානෙයි කියන්නේ නිකන් නිවුන්නු වගේ තමා. වැස්ස නැත්නම් වසන්තේ වසන්තයක් වෙයි යැ. 

වස්සානයට අත වනල ඉමු මග බලන්...උද්‍යානයක කෙළවරට වී...

කියලා උමාරා සිංහවංශ කියන්නේ ඒක නේ. එයා ඔය නොකියා කියන්නේ වසන්තයට එන්න කියන එක. නැත්නම් අහවල් එකකට වැස්සට අත වනයිද?

අහ්...උමාරා කිව්වමයි මතක් උනේ. එයාගේ නංගී උමාරියා ඉන්නවනේ මේ දවස්වල යන සුපර් ස්ටාර් වල ජජ් බෝඩ් එකේ. මමත් ඔය එහෙන් මෙහෙන් බැලුවා. ඇත්තම කිව්වොත් මමනම් කැමතියි ඔය දෙන්නට. දෙන්නම Talented, ඒකෙ දෙකක් නැහැ. Super stars බලන පිංවත්තු එහෙම ඉන්නවද? හොඳ වැඩ කාරයෝ වගේ පේන කීප දෙනෙක් ඉන්න හන්දා මම හිතුවා මේ අන්තිම ටික නොවරදවා බලනවා කියලා. ඔය දැන් ඉතුරු වෙච්ච 8 දෙනාගෙන් පියත් රාජපක්ෂට තමා මම වැඩිපුරම කැමති :)

සිංහල අවුරුද්ද කියන්නෙත් ඉතින් වසන්තේ තමා. ලංකාවෙනම්  මේ වෙනකොට පණ දාගෙන අවුරුද්දට ලේස්ති වෙනවා ඇති. එක්කෝ නැතුවත් ඇති. තාම ඉන්දියානු පරාජයේ සතුට සමරනවා ඇති අපේ කට්ටිය. 

මේ පහුගිය දවස්වල  මම දැකපු Facebook status ටිකක්..

Feeling "ගිනිබත්" with Doni and 11 others...

East or west WI is the best






















බලාගෙන යනකොට මුන්ට කවුරු දිනුවත් කමක් නැහැ ඉන්දියාව පරදිනවානම්.

ඒ කතා වැඩක් නැහැ. දැන් මේ සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට ට්රාන්සිට් එක අරගෙන තියන වෙලාවේ මෙහෙම පල් හෑලි කතා කරන්න හොඳ නැහැ. මොනවහරි  පිං අතේ දෙයක් තමා කතා කරන්න ඕනා. පුණ්‍ය කාලය නේ.

මේ ටික දවසකට කලින් මම ලිපියක් දැක්කා තමන්ගේ එක්තැන් වෙච්ච අම්මවයි ආච්චිවයි බලාගෙන තනියම ඉන්න දරුවෙක් ගැන කතාවක්. අද දැක්කා වීඩියෝ එකක් කට්ටියක් එකතු වෙලා ඒ ගෙදරට කෑම බීම එහෙම ගිහින් දෙනවා. ඔන්න කරනවානම් පිං අතේ වැඩ.

මේ පහුගිය දවස් ටිකේම ඔය වගේ දුක හිතෙන පොඩි එවුන්ගේ කතා ගොඩක් අහන්න ලැබුනා. ඇඹිලිපිටියේ වාහන අනතුරකට ලක් වෙච්ච ශිෂ්‍යත්ව වීරයාගේ කතාව එයින් එකක්. ඒ පොඩ්ඩට නම් දැන් ප්‍රමාණවත් තරම් මුදල් ලැබිලා කියලා ආරංචියි. ඒ වගේම අර ඒඩ්ස් කට කතාවට අහු වෙච්ච පොඩි එකා.

ඒ දවස් ටිකේම මගේ වැඩේ අර අකිලගේ විරාජ් facebook පිටුවට යන එකයි මේ ගැන නිව්ස් කියවන එකයි තමා. :( අනේ අපේ ලංකාවේ අම්මලා තාත්තලා කියලා හිතුණා, තවත් දරුවෙක් ට ඉගනීම අහිමි කරලා අත්පුඩි ගහලා සතුටු වෙන හැටි දැකලා. ඕවයේ ඉතින් වරද කාගේද කියලා හොයන්න මම දන්නේ නැහැ. අන්තිමට ඒ කතාව සතුටුදායක විදිහට කෙලවර වෙච්ච එක ගැන සතුටුයි. ඒ ළමයා දැන් ට්‍රිනිටියට යනවා නේද? ඒ ගැනනම් හරියටම නිව්ස් එකක් ලැබුනේ නැහැ.

මේ වගේ උපකාර කරන්න පුළුවන් දේට පුළු පුළුවන් හැටියට දායක වෙනවනම් ඒක ලොකු දෙයක්. අලුත් අවුරුද්දේ හිතට ගන්න හොඳ දෙයක්. පුංචි දේකින් හරි තව කෙනෙක්ට උදව්වක් වෙන්න පුළුවන් නම්...


ඔබ සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා !!


Tuesday, February 16, 2016

කෝට්ටේ කලබල - රාජාවලිය XXXIX

ඔන්න එහෙනම් කාලෙකට පස්සේ ආපහු රාජාවලියට බහින්න හිතුනා. මේ "කාලෙකට පස්සේ" කියන එක කල්ප කාලාන්තරේකට පස්සේ කියලා අර්ථ දක්වගත්තත් කමක් නෑ හොඳේ.

කට්ටියට අමතකනම් ඔන්න ගියපාර ලිපියට පාර. ඒක අවසාන උනේ බොහොම දුක් බර විදියටනේ. අර සමුද්‍ර දේවී කුමාරි එයාගේ සැමියා වෙච්ච වීදියබණ්ඩාර අතින් මැරුම් කෑවා නේ. ඉතින් මේ බව රට වැසියාට ආරංචි වෙන්න ටික දවසක් ගියා ලු. මේක දැනගත්තම මුළු කෝට්ටේ නගරයම මළ ගෙයක් වගේ උනා ලු. වීදියබණ්ඩාරත් අන්තිමේදී මේ ගැන පසු තැවුනලු. තමන්ගේ බිරිඳ සැක කරලා මැරුවට පස්සේ එහෙම නොවුනා නම් තමා පුදුමේ.  ඉතින් බුවනෙකබාහු රජතුමාත් තරහෙන් උමතු වෙලා වීදියබණ්ඩාර ගෙන් පළිගන්න හිතුවලු. මේක දැනගත් හැටියේම වීදියබණ්ඩාර කළේ කෝට්ටේ නගරයෙන් පළා යන එක.

මේ වෙද්දි අපි පහුගිය ලිපියෙදි කියපු ඉන්දියාවේ සමොරින් වරයා නැවතත් මායාදුන්නේ රජු එක්ක සමාදාන වෙලා ඔහුට හමුදා පවා එවලලු තිබුනේ. ඉතින් මේ ශක්තිමත් වෙලාවේ කෝට්ටේ ආක්‍රමණය කරන්න ඕනේ කියලා මායාදුන්නේ හිතුවලු. ඒ අනුව දෙස් විදෙස් සේනා කැටුව මායාදුන්නේ කෝට්ටේ ආක්‍රමණය කරන්න පිටත් උනා ලු. මේ වෙලාවේ අසරණ වෙන බුවනෙකබාහු රජතුමා, ආපහු වීදියබණ්ඩාර ගේ සහය පතනවා. ඉතින් වහාම ක්‍රියාත්මක වෙන වීදියබණ්ඩාර සේනා සංවිධානය කරලා පෘතුගීසි හමුදාවත් එක්ක එකතු වෙලා මායාදුන්නේට අන්ත පරාජයක් ලබා දෙනවා.



ඔහොම ටික කාලයක් ගත වෙද්දී බුවනෙකබාහු රජතුමාත් වයසට ගිහින් අබල දුබල තත්වෙට පත් වෙනවා. එතකොට තමයි සිංහාසනයේ මී ළඟ උරුමක්කාරයා කවුද කියන ප්‍රශ්නේ  එන්නේ. රජතුමාගේ කැමැත්ත හිමි වෙන්නේ ඔහුගේ මුණුපුරාට. ඒ කියන්නේ සමුද්‍ර දේවිගේ පුතා "ධර්මපාල" කුමාරයා ට. රජතුමාගේ දෙවන බිසවට පුතුන් දෙදෙනෙක් හිටියත් කලහකාරී ඔවුන්ට රජු ඒ තරම් කැමැත්තක් දක්වන්නේ නැහැ. ඉතින් රජතුමා දැනගෙන හිටියා මේ තීරණේට මායාදුන්නෙත් අනිවාර්යෙන්ම විරුද්ධ වෙන බව. ඒ නිසා ධර්මපාල කුමාරයාගේ ආරක්ෂාව පෘතුගීසීන්ට බාර දෙන්න හිතලා මේ ගැන කියලා පෘතුගාලයේ තුන්වන ජෝන් රජතුමාට ලියුමක් යැව්වා.

ජෝන් රජතුමාත් ඒ සැනින් පිළිතුරු එවනවා. ඉතින් රජතුමා කරන්නේ ධර්මපාල කුමාරයාගේ රන් අනුරුවක් සාදවා පණිවිඩකරුවන් දෙදෙනෙක් අතේ ලිස්බන් නගරයට යවන එක. ඉතින් පෘතුගාලයේ ජෝන් රජතුමා අතින් මේ පිළිමයට ඔටුනු පළඳනවා. කිතු දහම ලංකාවේ පැතිරවීම ගැනත් මෙවෙලේ රජතුමා කතාබස් කරනවා. බුවනෙකබාහු රජතුමාත් කිතු දහම වැළඳ ගත්තොත් ජනතාව ඔහුව අනුගමනය කරන නිසා එය ඉතාමත් පහසු වෙනවා.



ඉතින් ලාංකිකයින්ගේ සිත් සතුටු කරන්න ඇත් දළයෙන් සැදූ පෙට්ටියක කැටයම් කළ ධර්මපාල කුමරුගේ අභිෂේකයේ සිතුවමක් තෑගි හැටියට දෙනවා. ඒ වගේම ලංකාවේ සිටින පෘතුගීසි පාලකයින්ගේ වැරදිවලට ඔවුන්ට දඬුවම් දීමටත් නීති ස්ථාපනය කරනවා. ලාංකික පණිවුඩකරුවන්ගේ ආපසු ගමනේදී ඔවුන් එක්ක කතෝලික පූජකයින් පස් දෙනෙකුත් පැමිණෙනවා. රජතුමා ඔවුන් හොඳින් පිළිගත්තත් කිතු දහම වැළඳ ගැනීමට එකඟ වෙන්නේ නැහැ. ඒ වගේම සාමාන්‍ය ජනතාවත් ඒ ගැන උනන්දුවක් දක්වන්නේ නැහැ.

මේ අතරේ ධර්මපාල කුමාරයා කෝට්ටේ මී ළඟ රජ වීමේ පුවත මායාදුන්නේ සහ රජුගේ දෙවැනි බිසවගේ පුතුන්ගේ කන් වලටත් වැටෙනවා. මේ නිසා රජුට මාළිගාව ඇතුළෙත් සතුරන් ඇති වෙනවා. මෙයින් හොඳටම කිපෙන මායාදුන්නේ වහාම සේනාවක් එවනවා කෝට්ටේ ට. මෙවෙලෙත් පෘතුගීසින්ගේ පිහිට පතනවා ඇරෙන්න රජතුමාට වෙන විසඳුමක් ලැබෙන්නේ නැහැ.

මේ අතර දෙවැනි බිසවගේ පුතුන් දෙදෙනාගේ රජකමට ඇති කෑදර කම ගැන දැනගන්නා "ඇන්ඩ්රු ද සූසා" නම් පෘතුගීසි නිලධාරියා ඔවුන්ට උදව් කරන බව කියා මුලින්ම වැඩිමහල් කුමාරයා කිතු දහමට බඳවා ගන්නවා. ඉන්පස්සේ බාල කුමරු "ජගෝබණ්ඩාර" ට කියනවා රජ වෙන්න උවමනා නම් ගෝවට ගොස් කිතු දහම වැළඳ ගන්නා ලෙස. මේ බව ආරංචි වෙන රජතුමා ජගෝබණ්ඩාර කුමාරයාව මරවනවා. මෙයින් බිය ගන්නා වැඩිමහල් කුමරු ගෝවට පැන යනවා. කිතු දහම වැළඳගත් තවත් ලාංකික කුමරුවන් (රජුගේ සොයුරියගේ පුතාත් ඇතුළුව) ඔහුට ගෝවේදී හමු වෙනවා. ගෝවේ පාලකයින් මොවුන්ට ලංකාවේ පාලනය අරගෙන දීමට නොයෙක් ආකාරයෙන් උත්සාහ කරනවා. පෘතුගාලයේ රජුටත් ඒ ගැන දන්වා යවනවා. මේ ගැන දැන ගන්නා බුවනෙකබාහු රජතුමා පෘතුගීසින් ගැන කෝපයට පත් වෙනවා.

ඒ වගේම, මේ වෙද්දී පෘතුගීසින්ගේ දරුණු වධ හිංසා නිසා ජනතාව රජුට කරන පැමිණිලි, රජු පෘතුගාලයට වාර්තා කළත් කිසිම පිළියමක් ලැබෙන්නේ නැහැ. ධර්මපාල කුමාරයාව ක්‍රිස්තියානි ආගමට බඳවන ළෙස පූජකයින්ගේ බල කිරීම් වලට රජු විරුද්ධ වෙනවා. මේ හේතු නිසා රජතුමා පෘතුගීසින් ගෙන් ඈත් වෙලා මායාදුන්නේ එක්ක මිත්‍ර වෙනවා. මේ මිත්‍රකම ගැන උඩරට රජු වෙච්ච වික්‍රමබාහු රජතුමානම් සතුටු වෙන්නේ නැහැ. ඔහුත් ලංකාවටම රජු වීමේ පිපාසෙන් පෙළෙන කෙනෙක්. ඒ නිසා ඔහු කරන්නේ පෘතුගීසින් එක්ක මිතුරු වෙන එක. පෘතුගීසි නිලධාරියෙක් ගෙන්වා ගිවිසුම්, ගනු දෙනු සියල්ල කතා කරගත් පසු මේ ගැන බුවනෙකබාහු රජුටත් මායාදුන්නේටත් සැළ වෙනවා. ඉතින් උඩරට සහ වෙරළබඩ යා කරන මාර්ග වල බාධක යොදන්න ඔවුන් කටයුතු කරනවා.

ඔය අතරේ තමයි ගෝවේ පෘතුගීසි පාලකයා වෙනස් වෙන්නේ. "දොන් ජෝන් ද කැස්ත්‍රෝ" නම් මේ අලුත් පාලකයා ටිකක් බුද්ධිමත් කෙනෙක්. බුවනෙකබාහු රජුගේ වෙනස් වීමට හේතු සෙවිමට ඔහු පටන් ගන්නවා. ඔවුන්ගෙන් වෙච්ච වැරදි පිළිගෙන නැවතත් බුවනෙකබාහු රජු සමග මිතුරු වීමට පමණක් නෙවෙයි, ක්‍රිස්තියානි දහම පැතිරවීමට සහ පල්ලි සැදීමට ඉඩ ලබා ගැනීමටත් රජු කැමති කරවා ගැනීමට ඔහු සමත් වෙනවා.

මේ අලුත් මිතුරු කම ගැන වික්‍රමබාහු රජතුමා නම් සතුටු වෙන්නේ නැහැ. ඔහු කැස්ත්‍රෝ ට ලියුම් පිට ලියුම් එවනවා කෝට්ටේ අතහැර උඩරට සමග මිතුරු උනොත් ක්‍රිස්තියානි ආගම පැතිරවීමට අනුග්‍රහය දක්වන බව කියමින්. මෙයින් සතුටු වෙන කැස්ත්‍රෝ, උඩරට ට පූජකයින් යැවීමට ක්‍රියා කරනවා. මේ අනුව උඩරට මාළිගාවේ සියළුම දෙනා කිතු දහම වැළඳ ගත්තත් වික්‍රමබාහු රජතුමා බලාපොරොත්තු වෙච්ච උදව්නම් පෘතුගීසින්ගෙන් ලැබෙන්නේ නැහැ.

මේ ජරමර ආරංචි වෙලා බුවනෙකබාහු රජතුමායි මායාදුන්නේයි මේ ගැන හොඳටම උරණ වෙලා වික්‍රමබාහු එක්ක යුද්ධයකට එන්න සැරසෙනවා. නැතිනම් විශාල වන්දියක් සමග වික්‍රමබාහුගේ දියණිය ධර්මපාල කුමරුට බන්දා දෙන ළෙස ඉල්ලනවා. ඔහු මෙයට කැමති වෙන නිසා යුද්ධය වැළකෙනවා. කිව්වා වගේම දියණිය කෝට්ටේ රජ වාසළට පිටත් කර හරිනවා.

ඒ අතරේ තමයි නැවතත් ක්‍රිස්තියානි පූජකයින් කණ්ඩායමක් සමග පෘතුගීසි සේනාවක් උඩරට ට එන්නේ. ඔවුන් වික්‍රමබාහු රජතුමා ක්‍රිස්තියානි ආගම වැළඳ ගත්තොත් සීතාවක සහ කෝට්ටේ දිනා දෙන බවට පොරොන්දු වී රජු කැමති කර ගැනීමට වෙහෙසෙනවා. මේ වෙද්දී රජු කෝට්ටේ රජුත් සමග මිතුරු වී සිටි නිසා ඔහු මේකට කැමති වෙන්නේ නැහැ. ඒ වෙනුවට ඔහු කියනවා මුලින් යුද්ධ කර ඒ රාජධානි දෙක දිනා ගත්තොත් ක්‍රිස්තියානි ආගම වැළඳ ගන්නා බව. මේ පෘතුගීසීන්ගේ පැමිණීම ආරංචි වෙන බුවනෙකබාහු රජු උඩරටට ලිපියක් එවනවා ඔහු කතෝලිකයෙක් බවට පත් වුනොත් සියළුම මිතුරුකම් අත්හරින බවටත් විවාහ ගිවිසුම අවලංගු වන බවටත්. මේ නිසා වික්‍රමබාහු රජතුමා පෘතුගීසින් උඩරටින් එළවා දමන්න කටයුතු කරනවා.

ආපසු එන ගමනේදී මේ පෘතුගීසි සේනාවට මග වැරදී සීතාවක රාජධානියට ඇතුල් වෙනවා. මායාදුන්නේ ඔවුන්ට හොඳින් සළකනවා. ඒ උඩරට දිනා ගැනීමට ඔවුන්ගේ උදව් ගැනීමේ අරමුණින්.  මේකේ ප්‍රතිඵලයක් විදිහට මායාදුන්නේ ගෝවට දූතයෙකුත් යවනවා. මේ ගැන ආරංචි වෙන බුවනෙකබාහු රජතුමා කෝප වෙලා ඔහුත් ගෝවට දූතයෙක් යවනවා මායාදුන්නේට උදව් නොකරන ළෙස ඉල්ලමින්. මෙයින් සිද්ධ වෙන්නේ සහෝදරවරු දෙන්නා ආපහු යුධ ප්‍රකාශ කරගන්න එක. ඒ වගේම මේ පාරත් පෘතුගීසින් උදව් දෙන්නේ බුවනෙකබාහු ට.

බුවනෙකබාහු රජුගේ සේනාවත් සීතාවක සේනාවත් නුවන්ගමදී කරන සටනින් මායාදුන්නේ පැරදිලා සීතාවකට පලා යනවා. කලින් වතාවලදී වගේ මායාදුන්නේට සමාව නොදී ඔහුට පහර දීමට බුවනෙකබාහු ට උවමනා උනත් පෘතුගීසින් ට උවමනා වෙන්නේ උඩරට ගොස් වික්‍රමබාහු යටත් කර ගැනීමට. මේ නිසා රජු ගේ කීම නාසා උඩරටට පිටත් වෙන පෘතුගීසි සේනාවට මගදී උඩරට සිහලුන්ගෙන් ප්‍රහාරයක් එල්ල වෙනවා. මෙයින් හොඳටම දුර්වල වෙන පෘතුගීසින්ට නැවතත් මායාදුන්නේ පිහිට වෙනවා. ඔයින් මෙයින් බුවනෙකබාහු සහ පෘතුගීසින් අතර හිතවත් කම නැති වෙලාම යනවා.

මේ අතරේ ගෝවට අලුත් පෘතුගීසි පාලකයෙක් පත් වෙනවා. මායාදුන්නේ වහාම ඔහුගේ පුත් ටිකිරි බණ්ඩාර කුමරු දූතයෙක් හැටියට ඔහු හමුවට යවනවා, ඔවුන්ට කෝට්ටේ දිනා ගැනීමට උදව් කළොත් පෘතුගීසින්ට පක්‍ෂපාති වන බව දන්වමින්. මෙය ආරංචි වන බුවනෙකබාහු රජු පෘතුගීසින් ධර්මපාල කුමරු හා තමන් ආරක්ෂා කරන බවට දුන් පොරොන්දු පත්‍රයේ කොපියක් ඔහුට යවනවා. කොහොමහරි මේ නිසා මායාදුන්නේ ට උදව් ලබා දීම නම් වලකිනවා.

මේ කාලේදී තමයි ඉතාමත් ශෝචනීය විදියට බුවනෙකබාහු රජුගේ මරණය සිද්ධ වෙන්නේ. විශ්‍රාම සුවයෙන් කැලණියේ කාලය ගත කරමින් ඉඳපු රජතුමා පෘතුගීසි වෙඩි උණ්ඩයකින් මරණයට පත් වෙනවා. ඒ 1551 දී. ඉන්පස්සේ ඇමතිවරු සහ කොළඹ පෘතුගීසි නිලධාරින් එකතු වෙලා ධර්මපාල කුමරුට කිරුළු පළඳනවා. මේ ධර්මපාල රජතුමා (ක්‍රි. ව. 1551- 1597) තමයි පස්සේ "දොන් ජුවන් ධර්මපාල" වෙලා රූකඩ රෙජෙක් හැටියට විරුදාවලිය ලබන්නේ.


ප. ලි. මේ තියෙන්නේ වීදිය බණ්ඩාර ගැන අපේ සිත්තමී ලියපු ලස්සන කතාවක්.
Related Posts Plugin for WordPress, Blogger...