Friday, September 29, 2017

සෙල්ලම් නිරිඳු වඩනා කුණ්ඩසාලේ - රාජාවලිය XLV

රාජසිංහ රජ්ජුරුවෝ ඉඟුරු දීල මිරිස් ගත්ත හැටි අපි ගිය පාර දැන ගත්තනේ. ඉතින් ඊට පස්සේ මොකද උනේ?

වැඩි දවසක් නොගිහින් රජතුමාට තේරුණා කරගත්ත මෝඩ කමේ තරම. ලන්දේසින් එක්කත් යුද්ධ ඇති වෙන්න පටන් ගත්තා. මේ වෙද්දී පෘතුගීසි කාලයේ තිබුනාට වඩා වැඩි බිම් ප්‍රමාණයක් උඩ රටට අයිති වෙලා තිබුණා, මුහුදුබඩ ප්‍රදේශ ත් ඇතුළුව. ඒ ලන්දේසීන්ගේ වැඩි අවධානය තිබුනේ කුරුඳු වෙළඳාම ගැන නිසා. 

මේ අතරේ ලන්දේසීනුත් පෘතුගීසින් කළා වගේම පාසල් ඇති කරන්නත් ප්‍රොතෙස්තන්ත්‍ර ක්‍රිස්තියානි ආගම ප්‍රචාරය කරන්නත් පටන් ගන්නවා. විශේෂයෙන්ම කතෝලික ආගම මර්ධනය කරන්නත් පටන් ගන්නවා.  සිංහලයින් ආගමට හරවන ව්‍යාපාරයට රජු තදින්ම විරුද්ධ උනා.

ලන්දේසීන් උඩරටට අයිති ප්‍රදේශ අල්ලා ගන්න පටන් ගන්නේ 1659 දී කල්පිටියට පහර දීමෙන්. මේ කාලයේ රජුට විරුද්ධව අභන්තර කැරලි ත් හටගත් නිසා ලන්දේසීන් ට හැකි වෙනවා විශාල භූමි ප්‍රදේශයක් අයිති කරගන්න.

මේ ලන්දේසි කරදරෙන් මිදෙන්න රජතුමා බ්‍රිතාන්‍ය සහ ප්‍රංශ ජාතිකයින්ගේ සහය පැතුවත් ඔවුන්ගේ ප්‍රහාර සාර්ථක වෙන්නේ නැහැ. ලන්දේසීන් ඔවුන්ව පළවා හරිනවා. කොහොමින් කොහොම හරි ක්‍රි. ව. 1675 දී රාජසිංහ රජතුමා ලන්දේසීන්ට විරුද්ධව විශාල සටනක් දියත් කරලා නැවතත් ඔවුන්ගෙන් විශාල භූමි ප්‍රමාණයක් අත්පත් කර ගන්නවා.




දෙවෙනි රාජසිංහ රජතුමා ගැන කියන්න තවත් වැදගත් කාරණයක් තියනවා. ඒ තමයි, මධුරා පුරයෙන් නායක්කර් වංශික බිසවුන් ගෙන්වීම ආරම්භ කරන්නේ මෙතුමා වීම. මේ සිරිත හින්දා පස්සේ කාලෙක සිංහල රජ පෙළපත නායක්කර් වංශිකයින් අතට පත් වෙනවා. ඒ ගැන ඉතින් ඉස්සරහට කතා කරමුකෝ.

ඉතින් මෙතුමා ගේ පුතා තමයි ඔහුගෙන් පස්සේ විමලධර්මසූරිය II (ක්‍රි. ව. 1687 - 1707) නමින් රජ වෙන්නේ. ඔහු පොඩි කාලේ මහණ වෙලා හිටියා ලු. ඒ කාලයේ උපසම්පදා කරන්න තරම්වත් භික්ෂුන් හොයාගන්න හිටියේ නැහැ ලු ලංකාවේ. ඉතින් ඔහු බුරුමයෙන් උපසම්පදා භික්ෂූන් ගෙන්වලා ශාසනය රැක ගන්න කටයුතු කරනවා. ඒ වගේම දළදා මාළිගා භූමියේ තෙමහල් ප්‍රාසාදයක් සාදවා දළදා වහන්සේ තැන්පත් කිරීමට රන් කරඬුවකුත් තනනවා.

මේ ආගමික කටයුතු කරන්න ඔහුට නිදහස් වාතාවරණයක් ලැබෙන්නේ ඔහු ලන්දේසින් එක්ක ගෙන ගිය සාමකාමී ප්‍රතිපත්තිය නිසා. ඔහුගේ කාලය සටන් නැති සාමකාමී කාලයක්. ඒ වගේම ලන්දේසීන් ඔවුන්ට යටත්ව තිබුණු සමහර ප්‍රදේශ උඩරට ට බාර දෙනවා. හැබැයි මේ ලිහිල් ප්‍රතිපත්තියෙන් හොඳ වගේම නරක ප්‍රතිඵලත් ලැබුණා. රජතුමාට හිතවත් වෙච්ච "ගොන්සාල්වේස්" පියතුමා ඔහුටත් විශේෂයෙන්ම මී ළඟ රජු වන ඔහුගේ පුතාටත් තෑගි බෝග දෙමින් මත්පැන ට නැඹුරු කරවමින් තමන්ගේ පැත්තට නම්මා ගන්නවා. අනෙක් සිංහල රදළයින්ට මේක රුස්සන්නේ නැහැ. මේ නිසා රාජ සභාවේ අභ්‍යන්තර ගැටුම් ඇති වෙන්නත් පටන් ගන්නවා. රාජ්‍ය පරිපාලනය අවුල් වෙන්න මේක ලොකු හේතුවක් උනා කියලයි මට හිතෙන්නේ.

ඉතින් විමලධර්මසූරිය රජු ගේ බිසව උනෙත් තමන්ගේ පියා අනුගමනය කරමින් මදුරාවෙන් ගෙන්වාගත් බිසවක්. ඒ වගේම ඔහුගේ අන්තිම කාලයේ තමන්ගේ පුතා වෙච්ච කුණ්ඩසාලේ කුමරුටත් මදුරාවෙන් කුමාරිකාවක් ගෙන්නලා දෙන්න කටයුතු කළා.

ඒ වෙද්දී මේ නායක්කර් වංශිකයින් පදිංචි වෙලා හිටපු වීදියක්ම මහනුවර තිබුනලු කුමරුප් වීදිය නමින්.

කුණ්ඩසාලේ කුමරු ගැන කියනවනම් ඔහු ඉතාමත් කෙළිලොල්, ස්ත්‍රීන්ට ලැදි කෙනෙක්. මේ සෙල්ලක්කාර ගතිය නිසා ඔහු "සෙල්ලම් නිරිඳු" කියලත් හැඳින්වුනා.

උඩින් තනාලා උඩ නෙත්ති මාලේ 
බිමින් තනාලා බිම නෙත්ති මාලේ 
සදා පොල් පුවක් ගඟ දෙපස දෑලේ 
සෙල්ලම් නිරිඳු වඩනා කුණ්ඩසාලේ 

ඉතින් මේ සෙල්ලම් නිරිඳු සිංහලේ රජ වෙන්නේ ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ (ක්‍රි. ව. 1707 - 1739) කියන නමින්. මේ තමයි ලංකාවේ අවසන් සිංහල රජතුමා. එහෙම උනේ කොහොමද කියලා අපි ඊ ළඟ ලිපියෙන් කතා කරමු. 



මෙතුමාට විරුද්ධව ඔහුගේ අර්ධ සොයුරෙක් කියලා කියන "පට්ටිය බණ්ඩාර" කැරලි ගැසුවත් ඒක සාර්ථක උනේ නැහැ. අවසානයේ පට්ටියබණ්ඩාර ට මරණ දඬුවම හිමි වෙනවා.

හැමෝම අහල ඇති නේද මේ ප්‍රශස්ති ගීතය?

වරමාතී සුභ චරිතේ...ලංකා පතී 
නරේන්ද්‍රසිංහ...භූ පතී 
රාජ රාජ සම තේජභි රාමා - ත්‍යාජ කාම රණ භූෂණ සෝමා 
වාදිත කුල දෘති වන්තභි රාමා - නරේන්ද්‍රසිහ නර නායක භූමා 

මෙන්න මේ ප්‍රශස්තිය නරේන්ද්‍රසිංහ රජතුමාට කියපු එකක්. 

එහෙනම් අදට නවතිමු. ඊ ලඟට ලංකා ඉතිහාසයේ කඳුලින් අවසන් වුනු තවත් පෙම් පුවතක් බලාපොරොත්තු වන්න. 

Related Posts Plugin for WordPress, Blogger...